ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය ජනපති කියයි (වීඩියෝ)

පෙබ 09, 2019

    ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනපති පොළොන්නරුවේ දී පවසයි.

    ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපතිතුමා පවසයි. ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගන්නා බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමිනි.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක් මහජන හමුව මෙලෙස අද පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පොළොන්නරුව නව නගරයේ දී පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප‍්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවයි.

    රටේ අනාගතයට බලපාන යහපත් තීන්දු තීරණ රැසක් ගැනීමට ඉකුත් සිව් වසර තුළ ජනාධිපතිවරයා ලෙස තමා කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ අද ප‍්‍රබල සමාජ අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩැලීම වෙනුවෙන් ගෙන යන පුළුල් වැඩපිළිවෙළකට මේ වන විට තමා උර දී සිටින බවයි.

    ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි ශක්තිමත් කළා සේම එහි තවත් සුවිශේෂී පරිවර්තනයක් ඉදිරි මාස කිහිපය තුළ සිදුකරන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. ජනහමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන් එදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවේ දේශපාලන පක්ෂයක් ලෙස නොව නිදහසින් පසු ශ‍්‍රී ලංකාව දේශීයත්වය සහ අපේකම මුල්කරගත් රටක් ලෙස ගොඩනැගීමේ පුළුල් බලවේගයක් ලෙස බවයි.

    අද දවසේ ද රටේ ස්වාධීනත්වය, නිදහස සහ අපේකම් රැක ගනිමින් රට ගොඩනැගිය හැක්කේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට බව සඳහන් කළ ජනාධිපතිතුමා කවුරුන් කුමක් කිව්ව ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙකත් දුර්වල වී නොමැති බවත්, ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ ප‍්‍රධාන සාධකය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බව කිසිවෙකු අමතක නොකළ යුතු බවත්ය.

    බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගෙන් පසුව තමන්ගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත් කළ එකම ජනාධිපතිවරයා තමා බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා මහ බැංකු මංකොල්ලය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම සේම 2015-2018 කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි පැවසෙන වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට තමා විසින් පත් කළ ජනාධිපති කොමිසමේ පරික්ෂණ කටයුතු ද ලබන සතිය වන විට ආරම්භ කිරීමට නියමිත බව කියා සිටියේය.
    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, තිලංග සුමතිපාල, ඉසුර දේවපි‍්‍රය, ගාමිණි තිලකසිරි, පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් රැසක් සහ කි‍්‍රයාකාරිහු විශාල පිරිසක් ජන හමුවට එක්ව සිටියහ.

    මේ අතර පොළොන්නරුව රාජ්‍ය සේවක නිල නිවාස සංකීර්ණයේ පළමු අදියර යටතේ ඉදිකෙරුණු නව ගොඩනැගිල්ල අද (09) පෙරවරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. පිබිදෙමු පොළොන්නරුව, දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 1500ක වියදමින් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකෙරෙන අතර සම්පූර්ණයෙන් වැඩ නිම වීමෙන් අනතුරුව සමස්ත නිවාස සංකීර්ණය නිවාස 86 කින් සමන්විතය.

    මෛතී‍්‍ර පාලනයක්-තිරසර යුගයක්, සංකල්පය යටතේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් සියලූ පහසුකම්වලින් සමන්විත ආකර්ෂණීය නිවාස සංකිර්ණයක් ලෙස මෙම රාජ්‍ය සේවක නිල නිවාස සංකීර්ණය ඉදි කෙරේ.

    මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, චන්ද්‍රසිරි සූරියආරච්චි යන මහත්වරුන් ද, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    එමෙන්ම, පිබිදෙමු පොළොන්නරුව, දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ ප‍්‍රතිලාභ බෙදාදීමේ වැඩසටහනක් ද අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පොළොන්නරුව නව නගරයේ වාරිමාර්ග කී‍්‍රඩාංගණයේ දී පැවැත්විණි.

    පාසල් සිසුන් වෙත ලක්දරු දිරිය ශිෂ්‍යත්ව ප‍්‍රදානය, නිවාස හිමිකම් ප‍්‍රදානය, ජීවනෝපාය මාර්ග සංවර්ධනය යටතේ උපකරණ ප‍්‍රදානය, අඩක් ඉදිකර ඇති හා අලූත්වැඩියා කළයුතු නිවාස සඳහා සෙවිලි තහඩු ඇතුළු අමුද්‍රව්‍ය ප‍්‍රදානය ඇතුළු පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාව වෙනුවෙන් අද දින ලබාදෙන ලද ප‍්‍රතිලාභවල සමස්ත වටිනාකම රුපියල් කෝටි දොළහමාරකට ආසන්නය.

     

    Last modified on සෙනසුරාදා, 09 පෙබරවාරි 2019 20:06

    Latest News