තිස්සමහාරාම සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ජූනි 30, 2021

    තිස්සමහාරාම ප්‍රදේශයේ ව්‍යාපෘතියක නියුතු චීන සමාගාමකට අයත් සේවකයින් පිරිසක් හමුදා නිල ඇඳුමින් සැරසී සිටින බවට වූ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

    ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඒ පිළිබඳ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ එම ඇඳුම අදාළ විදේශ සමාගමේ සේවකයින් අදින ඇඳුමක් වන අතර ඔවුන් මහජන චීන විමුක්ති හමුදාවට අයත් නොවන බවයි.

    තිස්සමහාරාමය තිස්ස වැවේ රොන් මඩ ඉවත් කිරීම සඳහා දැනට සිදු කෙරෙමින් පවතින ව්‍යාපෘතියට අදාළ පෞද්ගලික සමාගමට අයත් චීන ජාතික සේවකයින් හමුදා කැලෑ නිල ඇඳුමින් සැරසී සිටින බවට මාධ්‍ය මගින් ඉස්මතු කර තිබිණ. ආරක්ෂක ලේකම්වරයා චීන තානාපති කාර්යාලයෙන් අදාළ විමසීම සිදුකර ඇත්තේ ඒ අනූවයි.

    ඉදිරියේ දී එවැනි ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙසට එම ආයතනය දැනුවත් කරන ලෙස ද ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙන් කළ විමසීමේ දී දැනුම් දී තිබේ.

    ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ මෙවැනි තත්වයන් ඉදිරියට නැවත ඇතිවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස අදාළ දේශීය පෞද්ගලික ආයතනය ද දැනුවත් කර ඇති බවයි. එවැනි ඕනෑම උත්සාහයක් වෙතොත් එය වැළැක්වීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ද දැනුම් දී තිබේ.

    Latest News