"කිඹුලා ඇලේ ගුණා" අත්අඩංගුවට (වීඩියෝ)

පෙබ 02, 2021
  • LTTE සංවිධානය සමඟ ද සබඳතා පැවැත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ සින්නයියා ගුණසේකරන් හෙවත්, "කිඹුලාඇලේ ගුණා" සහ තවත් අපරාධකරුවෙකු ඉන්දියාවේ තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    තමිල්නාඩු පොලිසියේ Q ශාඛාව, චෙන්නායි ගුවන් තොටුපළේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය පවසයි.

    ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි දරුණු ගණයේ අපරාධකරුවෙකු වූ කිඹුලාඇලේ ගුණා නමැත්තා සම්බන්ධයෙන්, ජාත්‍යන්තර රතු නිවේදන පවා නිකුත් කර තිබිණ. කොටි සංවිධානයත් සමඟ මොහු සබඳතා පැවැත්වූ බවට ඒකල හෙළි වී තිබු අතර 1999 වසරේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කර සිදු වූ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් ද අවශ්‍යව සිටි සැකකරුවෙක්. මෙරටින් පළා ගිය ඔහු, වසර 15කට වැඩි කාලයක් ඉන්දියාවේ සැඟවී සිටියේය.

    ඉකුත් ඉරිදා චෙන්නායි ගුවන් තොටුපලේ සිට දිල්ලි බලා යාමට සූදානමින් සිටියදී, අත්අඩංගුවට ගැනුණු කිඹුලාඇලේ ගුණාගෙන් හෙළිකරගත් තොරතුරු මත, මධ්‍යම අපරාධ අංශය තවත් සංවිධානාත්මක අපරාධකරුවකු වන ස්ටැන්ලි ප්‍රනාන්දු හෙවත්, කෙනඩි හෙවත් "බුම්බා" නමැත්තා ද අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු කුලියට ඝාතන සිදුකරන වෙඩික්කරුවෙකු බව පොලිසිය පවසයි. ජාත්‍යන්තර පොලිසිය හා ඉන්දීය ඔත්තු අංශ මෙන්ම, මෙරට රාජ්‍ය බුද්ධි සේවය හා පොලිස් බුද්ධි අංශ අතර පැවති නිරන්තර සබඳතා හේතුවෙන් මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව, මහජන ආරක‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

    Last modified on බදාදා, 03 පෙබරවාරි 2021 00:11

    Latest News