කැල්සයිට් අගය එකතු කළ භාණ්ඩයක් ලෙස නිෂ්පාදනට පියවර..

ජන 29, 2021

    තීන්ත, බෙහෙත් පෙති, තීන්ත ආලේපණ, රූපලාවන්ය ද්‍රව්‍ය නිෂ්පාදනය, ඇඳුම් කර්මාන්තය ආදි කර්මාන්ත අංශ ගණනාවක් සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යයක් වන කැල්සයිට් (CaCo3) අවශ්‍ය තරමටත් වඩා අපේ රටේ භූගර්භයේ තිබෙන බවත්, එසේ තිබියදීත් ඉන් නිසි ප්‍රයෝජන නොගෙන කැල්සයිට් ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3000කට අධික මුදලක් පිටරටවලට වැය කරන බව, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    එමනිසා කැල්සයිට් අගය එකතු කළ භාණ්ඩයක් වශයෙන් නිෂ්පාදන කටයුතු අපේ රටේම වහාම අරඹන්නැයි අමාත්‍යවරයා භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යාංශය යටතේ තිබෙන තාක්ෂණික සේවා සමාගමේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    ඊයේ (28) පරිසර අමාත්‍යාංශයේ දී එම සමාගමේ ප්‍රගතිය හා ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පැවැතිනි.

    පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී බලංගොඩ ප්‍රදේශයේ බහුල වශයෙන් තිබෙන කැල්සයිට් නිධීවලින් නිසි ප්‍රයෝජනය මෙතෙක් ලබා නොගැනීම සම්බන්ධව අමාත්‍යවරයා කරුණු විමසා සිටියේය.

    බෙහෙත් පෙති නිෂ්පාදනයේ දී බහුල වශයෙන් යොදා ගන්නා අමුද්‍රව්‍යයක් වන්නේ කැල්සයිට්ය. නමුත් අපේ රටේ කැල්සයිට් ඉතා අඩු මුදලකට ටොන් ගණනින් විදේශ රටවලට අපනයනය කළද ඉන් ලැබෙන්නේ සුළු ආදායමකි.

    මේ නිසා කැල්සයිට් නිමිභාණ්ඩයක් වශයෙන් නිපදවා වෙළෙඳ පොළට යැවීමට බලංගොකල්තොට ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව එම සමාගමේ නිලධාරිහු පැවසූහ.

    මේ සඳහා පළමු අදියරේ දී වැය වන මුදල රුපියල් මිලියන 100ක් වන අතර දේශීය බැංකුවකින් එම මුදල ණය මුදලක් වශයෙන් ලබා ගැනීමට සාකච්ඡා කෙරමින් පවතින බව එහි ප්‍රධාන විධායක නිලධාරි නීතිඥ තුසිත අළුත්පටබැඳි මහතා පැවැසීය.

    කැල්සයිට් නිමි භාණ්ඩයක් වශයෙන් සකස් කිරීම සඳහා කර්මාන්ත ශාලාවක් ඇරඹීමට විදේශ ආයෝජකයින් රැසක් මේ වනවිට ඉදිරිපත් වී සිටින බව ප්‍රකාශ ක‍ළ අමාත්‍යවරයා එසේ වුවද රජයේ මැදිහත්වීමෙන් කර්මාන්ත ශාලාවක් ඉදි කිරීම තම ඉළක්කය බව ද සඳහන් කළේය.

    අපේ රටේ කර්මාන්ත රැසකට අවශ්‍ය කැල්සයිට් ලබා දීම සඳහා මෙම කර්මාන්ත ශාලාවෙන් පියවර ගැනීම මගින් වාර්ෂිකව විශාල ආදායමක් උපයා ගැනීමට හැකි වන බවත්, කල්තොට පිහිටුවන කර්මාන්ත ශාලාවේ සේවය සඳහා එම ප්‍රදේශයේ ජනතාවට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    කල්තොට එම කර්මාන්ත ශාලාව පිහිටුවන්නේ නම් පළමු අදියරේ දී ඊට අවශ්‍ය කැල්සයිට් ටොන් ලක්ෂයක් නොමිලේ ලබා දීමට දැනටමත් එම කැණීම්කරුවන් පොරොන්දු වී ඇතැයි එම සමාගමේ ප්‍රධාන විධායක නීතිඥ තුසිත අළුත්පටබැදි මහතා පැවැසීය.

    මෙම කර්මාන්ත ශාලාව කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.

    Latest News