අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියෝ දැයට සමුදෙති (වීඩියෝ)

නොවැ 22, 2020
  • අපවත්වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන්ගේ දේහය පිලිබඳ ආදාහන පූජෝත්සවය මහනුවර කුණ්ඩසාලේ බණ්ඩාරනායක ක්‍රීඩාංගණයේ දී අද (22) සවස පැවැත්විණ.

    ඒ්, පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව.

    මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබූ හූරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මහා විහාරයට අද උදේ පැමිනි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අවසන් ගෞරව දැක්විය. සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා කැපවී ක්‍රියාකළ අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් සිය ශෝකය පළ කළ අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහ නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන්ට සුබපැතුම් ද ඒක්කළේය.

    අපවත්වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන්ගේ දේහය විද්‍යාසාගර පිරිවෙන් සිට ආදාහන පූජෝත්සවය පැවති මහනුවර කුණ්ඩසාලේ බණ්ඩාරනායක ක්‍රීඩාංගණය වෙත පස්වරු 1.30ට පමණ රිය පෙරහරකින් වැඩම කරවනු ලැබීය.

    98 වැනි වියෙහි පසුවූ අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන් පැවිදි දිවියට ඒළඹුණේ 1933 වසරේදී. 1943 වසරේදී උපසම්පදාව ලැබූ උන්වහන්සේ 1967 වසරේදී හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන ආරම්භ කර ඒහි පළමු පරිවේනාධිපති ධූරය ද හෙබවිය.

    2008 වසරේදී නාපාන පේමසිරි නාහිමියන්ට මියන්මාර රජය විසින් අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධිය පිරිනමනු ලැබීය. උන්වහන්සේගේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක ධූරයට පත් කෙරුණේ, අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුවයි.

    අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයින් රැසක් පැමිණ සිටියහ. ආගමික වතාවත් ඉටු කරන ලද්දේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අභිනව මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක, පූජ්‍ය මාතලේ ධම්මකුසළ, මල්වතු පාර්ශ්වයේ අනුනායක, පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි, සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අමරපුර චූලගන්ධි පාර්ශ්වයේ මහනායක පූජ්‍ය ගංතුනේ අස්සජී යන හිමිවරු අනුශාසනා පැවැත්වූහ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒවා තිබූ ශෝක ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අදහස් පළ කළේය.

    ආදාහන පූජෝත්සවය ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ, අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනාහිමියන් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ආදර්ශයක් බවයි.

    ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තු සම්මාන ආචාර වෙඩිමුර 17ක් පිරිනමමින් නාහිමියන්ට රාජ්‍ය ගෞරව පිරිනමනු ලැබීය.

    Last modified on ඉරිදා, 22 නොවැම්බර් 2020 20:12

    Latest News