රුපියල් 5000 දීමනාවේ දෙවැනි අධියර හෙට(03)

නොවැ 02, 2020

    ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සඳහා රුපියල් 5000 ලබා දීමේ දෙවන අදියර හෙට සිට (03) සිට ආරම්භ කෙරෙන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මුදල් ලැබීමෙන් සතියක් තුළ දීමනාව ලබා දී අවසන් කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.

    දෙවැනි අදියර යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ රුපියල් 5000 දීමනාව ලැබෙන පවුල් සංඛ්‍යාව හාර ලක්ෂ හැටහතර දහස් දෙසීය පනස් හතරකි.

    ඒ සඳහා රජය වෙන් කරන මුදල රුපියල් 2,321,270,000කි.

    ඉන් රුපියල් මිලියන 416ක් මේ වන විටත් මුදල් අමාත්‍යාංශය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලබා දී තිබේ.

    ඉතිරි මුදල මේ මස 10 වැනි දිනට පෙර අදියර කීපයක් යටතේ ලබාදීමට සැළසුම් කර ඇතැයි, ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.

    ගම්පහ දිස්ත්‍රික්කයේ මුලින්ම ඇඳිරිනීතිය පැනවූ පොලිස් බල ප්‍රදේශ තුනක පවුල් අසූ දහසක් සඳහා මේ වනවිටත් රුපියල් 5000 දීමනාව ගෙවීම අවසන් කර තිබේ.

    මිනුවන්ගොඩ, දිවුලපිටිය හා වේයන්ගොඩ ඒ පොලිස් බල ප්‍රදේශයි.

    ඒ සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 400කි.

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් පවසන්නේ මෙම 5000 දීමනාව අඟහරුවදා සිට ගෙවීමට අදාළ උපදෙස් මේ වනවිට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දී ඇති බවයි.

    පළාත් පාලන මන්ත්‍රී, ග්‍රාම නිළධාරී, සමෘද්ධි නිළධාරී, සංවර්ධන නිළධාරී ඇතුළු ග්‍රාමීය කමිටුව හරහා මෙම දීමනාව ලබාදීම සම්බන්ධීකරණය කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.

    Latest News