පළාත් කිහිපයට අද සිට වැසි

ජන 12, 2019

    නැගෙනහිර, ඌව,මධ්‍යම, දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ සිට (විශේෂයෙන් ජනවාරි මස 12 සිට 13 දක්වා) බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු පළාතේ සහ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

    සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට විශේෂයෙන් ඌව, මධ්‍යම,දකුණ සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාරදිස්ත්‍රික්ක වලත් මි.මී100 ට වැඩි තද වැසි ඇති විය හැක.

    වයඹ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

     

    මාතර සිට හම්බන්තොට, මඩකළපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.

    මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-50 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක. ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙයි.

    Latest News