පාස්කු කොමිසමට තෙවැනි දිනටත්, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සාක්‍ෂි දෙයි

සැප් 11, 2020

    ත්‍රස්තවාදී කටයුතු වැළැක්වීම සඳහා ස්ථාපිත පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහරාන් හෂීම් අත්අඩංගුවට ගනු ඇතැයි, තමා බලාපොරොත්තු වුවද පාස්කු ප්‍රහාරය එල්ලවනතුරු එසේ කිරීමට ඔවුන් අසමත් වූ බව, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා පවසයි.

    පාස්කු කොමිසම හමුවේ තෙවැනි දිනට සාක්‍ෂි දෙමින් ඔහු ඊයේ මේ බව කියා සිටියේය. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානියා මෙන්ම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පෙනී සිටියේය. ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාගෙන් ජනාධිපති කොමිසමේ විනිසුරුවරයෙකු විමසා සිටියේ, රාජ්‍ය බුද්ධි සේවය විසින් ආවේෂණ රාජකාරි තුළින් සෑම තොරතුරක්ම ඔබ වෙත සැපයීමක් සිදු කරන්නේ ද යන්නයි. ඇතැම් තොරතුරු තමන්ට ලබාදීමක් සිදුවුව ද ඇතැම් තොරතුරු ලබාදීමක් සිදු නොවන බව ද ඔහු කියා සිටියේය.

    ලේඛනයක් පෙන්වමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ, සහරාන් සිය සමාජ ජාලා ගිණුම් ඔස්සේ අන්තවාදය පතුරුවන බව රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් දැනුවත් කර තිබුණේ ද යන්නයි. “ඔව් දැනුවත් කර තිබුණා, මට වගේම පොලිස්පති, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වගේම බුද්ධි සමාලෝචන රැස්වීමත් ඒ පිළිබඳව දැනුවත් කර තිබුණා“ යනුවෙන්.

    ඒ සම්බන්ධයෙන් ඔබ ගත් පියවර කුමක්දැයි, ජනාධිපති කොමිසම හිටපු ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් විමසුවේය. මෙවැනි විශේෂ කණ්ඩායම් සහ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට වෙනම කණ්ඩායම් පත්කර තිබිණ. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පිහිටුවනු ලැබුවේ ඒ සඳහායි. එය සෘජුවම තිබුණේ පොලිස්පති යටතේ. සහරාන් සම්බන්ධ තොරතුරු පොලිස්පතිවරයාට ගොස් තිබූ නිසා ඔහු අත්අඩංගුවට ගනීයි කියලා මම බලාපොරොත්තු වුණා.

    සමස්ත ලංකා ජමෙයිතුල් උලමා ඇතුළු මුස්ලිම් සංවිධාන ඇතුළු පාර්ශව 10කගේ ඉල්ලීමට අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම ඊයේ සිදු කෙරිණ. පෙරේදා දිනයේ සාක්‍ෂි පටිගත කරමින් සිටියදී, හසු වූ සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ මව්ලවිවරයා හෝ ඔහුට සහාය දැක්වූ නීතිඥවරයා ඊයේ කොමිසම හමුවේ පෙනී නොසිටීම විශේෂත්වයක්.

    මෙහිදී මුස්ලිම් සංවිධාන යොමු කළ ප්‍රශ්න කිහිපයකට ඥානසාර හිමියන් පිළිතුරු ලබා දුන්නේය. එහිදී හලාල් නිෂ්පාදනවලට විරුද්ධ මන්ද යන්නැයි උන්වහන්සේගෙන් විමසා සිටියේ. ඥානසාර හිමියන් ප්‍රකාශ කළේ, හලාල් යනු මුස්ලිම් ජනතාවගේ අයිතියක්. අපිට ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය හලාල් සම්බන්ධ ක්‍රියාවලියයි. දත් බුරුසුවට මොකටද හලාල් ලාංඡන, පාරිභෝගික භාණ්ඩවලට හලාල් ලාංඡන අවශ්‍ය නැහැ. එස් එල් එස් සහතිකය තිබුණා නම් හොඳටම ඇති. යනුවෙනි.

    Latest News