ජනපති දුන් සහන පැකේජය ක්‍රියාත්මකයි; අමාත්‍ය බන්දුල (වීඩියෝ)

මාර් 26, 2020
  • ජනාධිපතිතුමා ලබාදුන් සහන පැකේජය සඳහා වූ චක්‍ර ලේඛය මහ බැංකුව නිකුත් කර තිබේ.

    ඒ අනුව සහන පැකේජය මේ වනවිට ක්‍රියාත්මක බව, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මේ බව ප්‍රකාශ කෙරුණේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා....


    “කොරෝනා උවදුර නිසා සෘජුව බලපෑම් ඇතිවෙලා තිබෙන විවිධ පාර්ශවයන්ට සහන සැලසීම සඳහා දෙන පැකේජයක් සඳහා මාර්තු 20 වෙනිදා කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙච්ච කරුණුවලට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමැතිය ලබාදීලා සියළුම බැංකු ආයතනවලට, මූල්‍ය ආයතනවලට, ලීසිං ආයතනවලට නිකුත් කරනු ලැබූ චක්‍රලේඛනය ඊයේ දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. කල් බදු ක්‍රමයට ලබාගත්ත සියළුම ත්‍රීරොද රථ, වෑන් රථ, බස් රථ, කුලී රථ, ටැක්සි සේවාවන්ට මේ සියල්ලම ලීසිං කරලා තියෙනවානම් ලීසිං වාරික හා පොලී ගෙවීම මාස 6කට අත්හිටුවන්නට අපි ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය පූර්ණ ලෙස අනුමැතිය ලබාදුන්නා.

    මාණ්ඩලික නොවන සියළුම රජයේ සේවකයන්ට සහ මාණ්ඩලික නොවන පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුපෙන් අඩුකරගන්න ණය වාරික ගෙවීම මැයි මස 30 වැනිදා දක්වා අත්හිටුවලා තිබෙනවා.

    බැංකු හා මූල්‍ය ආයතනවල ලක්‍ෂ 10ට අඩු පුද්ගලික ණය අයකර ගැනීම මාස තුනකට අත්හිටුවලා තියෙනවා.

    දැනට විදුලි බිල්, වරිපනම් ගෙවන්න, ආදායම් බලපත්‍ර ලබාගැනීම යනාදියට චෙක්පත් නිකුත් කරලා තියෙනවා නම්, ඒ චෙක්පත්වල වලංගු කාලය මැයි 30 වෙනිදා දක්වා දීර්ඝ කරන්න තීරණය කරලා තියෙනවා.

    රුපියල් පනස් දහසට අඩු ණයපත්වලින් ගනුදෙනු කරන අයට ණය පොලී අනුපාතය 15% දක්වා අඩු කරන්න තීරණය කරලා තියෙනවා.
    ආපසු ගෙවීමේදී මාසිකව ගෙවිය යුතු මුදල 50%කින් අඩු කරලා තියෙනවා.

    පොලිස් සහ හමුදා සේවාවල සෞඛ්‍ය අංශයේ සහ රජයේ සේවකයන්ගේ අග්‍රහාර රක්‍ෂණ ප්‍රතිලාභ දෙගුණයකින් වැඩි කරලා තියෙනවා.

    සමෘද්ධිලාභීන්ට රුපියල් දස දහසක පොලී රහිත ණයක් සමෘද්ධි බැංකු හරහා ලබාගන්න අවස්ථාව ලබාදීලා තියෙනවා“ යැයි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍ය රමේෂ් පතිරණ මහතා....

    මෙම රෝගය වැළැක්වීම පිලිබඳව අරගෙන තියෙන විවිධ පියවරයන් හරහා ලංකාවේ රෝග ව්‍යාප්තිය ඉතාම හොඳ මට්ටමකට පාලනය කර ගැනිමට හැකිවේ යැයි කියන විශ්වාසය අපි සෑම කෙනෙකුටම තිබෙනවා. නමුත් ඉදිරි දින කිහිපය ඉතාමත්ම තීරණාත්මකයි“ යැයි රමේෂ් පතිරණ මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 මාර්තු 2020 19:07

    Latest News