රට තුළ කිසිසේත්ම භාණ්ඩ හිඟයක් නැහැ

මාර් 13, 2020

    රට තුළ කිසිසේත්ම භාණ්ඩ හෝ ඉන්ධන හිඟයක් නොමැති බව රජය අවධානය කරයි.

    උත්සව සමයට අවශ්‍ය භාණ්ඩ තොග සහ ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි තිබෙන බව බලධාරීන් පෙන්වා දෙයි. ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තාවීමත් සමඟ ජනතාව භාණ්ඩ තොග රැස්කර ගැනීමට පෙළඹිණ.

    මේ නිසා වෙළෙඳ සැල්වල හිස් රාක්ක සහ ඉන්ධන හල්වල දිගු පෝලිම් ද දක්නට ලැබිණ. එහෙත්, භාණ්ඩ හිඟයක් නොමැති බව වෙළෙඳ පොළ සංචාරයේදී අපට දැක ගැනීමට ලැබිණ.
    පිටකොටුව තොග වෙළෙඳුන් වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් භාණ්ඩ තොග මිල ගණන් පරීක්‍ෂා කළේය. 

    මරදගහමුල සහල් ව්‍යාපාරිකයින් පවසන්නේ කිසිදු හාල් හිඟයක් නොමැති බවයි. ඊයේ රාත්‍රීයේ දී ගාල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් පැවතිය ද අද උදෑසන විට තත්වය සාමාන්‍ය අතට හැරී තිබිණ. ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල තෙල් තොග අවසන් වී තිබිණ. ඉන්ධන සඟවන්නන්ගේ අලෙවි බලපත්‍රය වහාම අහෝසි කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    කෘත්‍රිම ඉන්ධන හිඟයක් මවාපෑමට උත්සාහයක යෙදී සිටින බව ද අමාත්‍යවරයා පවසයි. අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත්, හිඟයකින් තොරව ඉන්ධන ලබාදීමට ප්‍රමාණවත් ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාව සතු බව අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

    Latest News