“කොරෝනා“ ආසාදනය වූ තවත් පුද්ගලයන් 3ක් හඳුනා ගැනේ

මාර් 13, 2020

    “කොරෝනා වෛරසය“ ආසාදනය වූ තවත් පුද්ගලයන් තිදෙනෙකු අලුතෙන් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

     

    එක් අයෙකු ජර්මනියේ සංචාරය කර පැමිණි අයෙක් වන අතර, අනෙක් දෙදෙනා ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කළුවැව මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    එක් අයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන අතර, අනේ දෙදෙනා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබයි. මේ වනවිට තහවුරු වී ඇති “කොරෝනා වෛරසය“ ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 5ක්.

    ප්‍රථමයෙන් හමුවූ රෝගියා දියවැඩියාව, අධික රුධිර පීඩනය හා පෙනහළු ආබාධයකින් පෙළෙන බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මේ අතර, ඉතාලියෙන් වාර්තා වූ කොවිඩ් නයින්ටීන් රෝගයට ගොදුරු වූ ශ්‍රී ලාංකික කාන්තාව පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

    ප්‍රථමයෙන් හමුවූ රෝගියා පුද්ගලයන් 60 දෙනෙකු සමඟ සම්බන්ධතා පවත්වා ඇති අතර, දෙවැනි රෝගියා පුද්ගලයන් 20 දෛනකු සමඟ සම්බන්ධතා පවත්වා ඇති බව අනිල් ජාසිංහ මහතා කියා සිටී.

    “කොරෝනා වෛරසය“ ආසාදිත බවට සැකපිට 64 දෙනෙකු දිවයින පුරා රෝහල් 17ක පරීක්‍ෂණවලට භාජනය වෙමින් සිටී.

    කොවිඩ් නයින්ටීන් රෝගයට ගොදුරු වී ඇත්ද යන්න පිලිබඳව සොයා බැලෙන පරීක්‍ෂණ සිදු කරනු ලබන්නේ, රජයේ රෝහල්වලින් පමණි. දැනට එම පරීක්‍ෂණ කරාපිටිය ශික්‍ෂණ රෝහල, අයි.ඩී.එච් රෝහල සහ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සිදු කෙරේ. ඊට අමතරව මෙම පරීක්‍ෂණ සිදු කෙරෙන්නේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ.

    ඉතාලිය, දකුනු කොරියාව සහ ඉරානයේ සිට පැමිණෙන්නන් නිරෝධායනය කිරීම සාර්ථකව සිදු කෙරේ. මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇති පිරිස 1484ක්. අද දිනයේත් 200කට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කෙරිණ. ඔවුන් මඩකලපුව, පොළොන්නරුව, කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා දියතලාව යන නිරෝධායන මධ්‍යස්ථාවල රඳවනු ලැබ සිටී.

    රජයේ සියලු විශ්වවිද්‍යාල හෙට (14) සිට සති දෙකක් වසා තැබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි. “කොරෝනා වෛරසය“ සමඟ මතුවී ඇති තත්වය සැලකිල්ලට ගනිමින් මේ තීරණය ගත් බව කොමිෂන් සභාවේ ලේකම්වරයා ප්‍රකාශ කළේ, මෙය බල පැවැත්වෙන්නේ, විශ්වවිද්‍යාල සිසුන් සඳහා පමණක් බව ද අවධාරණය කළේය.

    දිවයින පුරා සියළු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ ගුරු විද්‍යාලවලට ලබන 16 සිට 29 දක්වා සති දෙකක නිවාඩු කාලයක් ලබාදීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    දිවයින පුරා සියලු පෙර පාසල්වල මේ වාරයේ නිවාඩුව අද ආරම්භ කිරීමට ද කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. එම අමාත්‍යාංශය පවසන්නේ, පෙර පාසල් නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවයි.

    මේ අතර ලොවපුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන කොවිඩ් නයින්ටීන් රෝගයෙන් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන, මුල් ළමාවිය සංවර්ධන සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන් ආරක්‍ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදෙන උපදෙස් සැලකිල්ලට පියවර ගන්නා ලෙස ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය ඉල්ලා සිටී.

    “කොරෝනා වෛරසය“ සම්බන්ධයෙන් රජයේ නිල නිවේදන කෙරෙහි අවධානය යොමු කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. ඇතැම් පාර්ශව සමාජ මාධ්‍ය ඔස්සේ, තහවුරු නොකළ තොරතුරු ජනතාව කලබලයට පත්වන ආකාරයෙන් ප්‍රචාරය කරන බවට නිරීක්‍ෂණය වී ඇත.

    “කොවිඩ් නයින්ටීන්“ හෙවත් “කොරෝනා වෛරසය“ ආසාදිත පුද්ගලයන් ඇතැම් ස්ථානවල සිටින බවට පළවන ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ද ඉල්ලීමක් කෙරේ. රෝගය සම්බන්ධ තොරතුරු ලබාදීමට මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇති අතර, තොරතුරක් දැනගැනීමට විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වාදී තිබේ. 071-0107107/ 011-3071073 යන දුරකතන අංක පැය 24 පුරා විවෘතව පවතී.

    මේ අතර, රටවල් 11ක ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුලුවීම සති දෙකක කාලයක් සඳහා තහනම් කර තිබේ. දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන සියලු මගීන් අද සිට රටට ඇතුලු කර නොගැනීමට තීරණය කර ඇත. තවත් රටවල් 8ක පුද්ගලයින් ලබන 15 වැනිදා සිට රට තුළට ඇතුළු කර නොගැනීමට තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි.

    ලොව පුරා ව්‍යාප්තවන “කොරෝනා වෛරසය“ සැළකිය යුතු මට්ටමකට පාලනය වනතුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විදේශගතවිමට අනුමැතිය ලබානොදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ.

    “කොරෝනා වෛරසය“ පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව මෙම රෝගී තත්වයෙන් ආරක්‍ෂා වීමට ගතයුතු මූලපික පියවර සම්බන්ධයෙන් දැනුවත් කෙරෙනු ඇත. එම වැඩසටහන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ දී අද පැවැත්විණ.

    Latest News