නිරෝධායන මධ්‍යස්ථානවලදී කිසිදු මුදලක් අය නොකෙරේ; යුද හමුදාපති (වීඩියෝ)

මාර් 10, 2020
  • නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කෙරෙන පුද්ගලයන්ගෙන් කිසිදු මුදලක් අය නොකරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ යුද හමුදා නිල වෙබ් අඩවියේ විශේෂ ප්‍රකාශයක් සටහන් කරමින්. මේ අතර, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට අද දිවයිනට පැමිණි 181 දෙනෙකු නිරෝධායනයට යොමු කෙරුණා.

    දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන්නන් ඊයේ සිට නිරෝධායනයට යොමු කිරීමට රජය තීරණය කර තිබුණා. ඒ අනුවයි, එම කටයුතු අද ආරම්භ කෙරුණේ. නිරෝධායනයට යොමු කෙරුණු පිරිසෙන් 166 දෙනෙකු පැමිණියේ දකුණු කොරියාවේ ඉන්චියෝන් ගුවන් තොටුපලේ සිට පැමිණි ගුවන් යානයකයි.

    Kandakadu px 900 10 03 20

    ඉන් 164 දෙනෙකු ශ්‍රී ලාංකිකයන්. දෙදෙනෙකු කොරියානු ජාතිකයන් බවයි, වාර්තා වන්නේ. 13 දෙනෙකු පැමිණ ඇත්තේ, ඉතාලියේ සිට ඕමාන් හරහා මෙරටට පැමිණි ගුවන් යානයකින්. දිවයිනට පැමිණි ඔවුන් කටුනායක ගුවන් තොටුපලේ විශේෂ ස්ථානයකදී විශේෂ නිරෝධායන ක්‍රියාවලියට ලක් කෙරුණා. ඒ, යුද හමුදාව විසින්.

    පසුවයි ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබුවේ. පුද්ගලයන් 24 දෙනෙකු වැලිකන්ද කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට අද දහවල් රැගෙන ගියේ ගුවන් මගින්. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් “එම් 17“ වර්ගයේ විශේෂිත හෙලිකොප්ටරයකින්. සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් කර තිබූ බස් රථ 05කින් තවත් පිරිසක් අද සවස එම මධ්‍යස්ථාන වෙත රැගෙන එනු ලැබුවා.

    41 දෙනෙකු මඩකලපුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට අද පස්වරුවේ රැගෙන ගියේ බස් රථ දෙකකින්. ඔවුන් එම මධ්‍යස්ථානවල දින 14ක් රඳවා තැබෙනු ඇති.

    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද ඊයේ පොළොන්නරුව, වැලිකන්ද කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 20:35

    Latest News