ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට ඇප

දෙසැ 31, 2019

    තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි දැඩි ඇප කොන්දේසි මත මුදා හැරේ.

    2008 – 2009 කාලෙය්දී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැති සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය. ඔහු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(31) නියෝග කළේය.

    මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේ සැකකරුට මහාධිකරණය විසින් ඇප ලබා දී ඇති බව පවසමින් එම ඇප කොන්දේසි කියවා දීමෙන් අනතුරුවය.

    රුපියල් මිලියන 5 ශරීර ඇප දෙකක් හා රුපියල් ලක්ෂ හතරක මුදල් ඇපයක් නියම කර ඇති අතර ශරීර ඇප තබන එක් අයකු ලංගම ඥාතියකු විය යුතු බවත් ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය අවසන් වන තුරු ඔහුට විදේශගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

    එමෙන්ම විමර්ශන නිලධාරින්ට බාධා නොකළ යුතූ බවටත් එසේ සිදු කළ හොත් ඇප අවලංගු කරන බවටත් නියෝග කරමින් සෑම මසකම පළමු සහ තෙවන ඉරු දින සමූහ මංකොල්ල හා මිනිමැරුම් ඒකකයේ උදේ 9 ක් දහවල් 12ත් අතර පෙනී සිටින ලෙස නියෝග කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවත් මේ වනතෙක් එය පත් කර නැති බවත් කී රහස් පොලිසිය ඒ සම්බන්ධයෙන් දිනයක් ලබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළේය.

    සිද්ධියට අදාළව නඩුව කැඳවු අවස්ථාවේ රහස් පොලිසිය මේ බව අධිකරණයට දැනුම දුන්නේය. සිද්ධිය සම්බනිධයෙන් විමර්ශන සිදු කර ලබන වසරේ පෙබවාරි මස 05 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    Latest News