ස්මාර්ට් ජංගමයෙන් මාරයා ඈත් කරන සුහුරු පදික මාරු

මාර් 19, 2019

    දකුණු කොරියාව ස්මාර්ට් (සුහුරු) ජංගම දුරකතන නිසා සිදුවන මාර්ග අනතුරු වැලැක්වීමට නව තාක්ෂණයක් හඳුන්වා දී තිබේ.

    සෝල් අගනුවරට 30km ක් වයඹ දෙසින් වූ ඉල්සාන් නගරයේ මෙම නව පද්ධතිය ස්ථාපනය කර ඇත. පදිකයන් ජංගම දුරකතන භාවිතා කිරීම නිසා සිදුවන මාර්ග අනතුරු වැලැක්වීම, මෙම පද්ධතිය ස්ථාපනය කිරීමේ මූලික අරමුණයි. මාර්ගය භාවිත කරන්නන් තම ජංගම දුරකතනවලටම යොමු වී ගමන් කිරීමේදී බොහෝ අනතුරු සිදුවන බව පරීක්ෂණ මගින් හා පසුගිය දත්ත මගින් අනාරවණය කරගෙන තිබේ. එම වාර්තාවලට අනුව 2017 වසරේදී 1,600කට අධික පදිකයන් පිරිසක් රථවාහන සම්බන්ධ අනතුරුවලින් මිය ගොස් ඇත.

    2017 වසර වන විට දකුණු කොරියානු වැඩිහිටියන් ගෙන් 94%ක් ස්මාර්ට් දුරකතනයක් භාවිතා කරයි. ඒ අනුව ලෝකයේ වැඩිම ස්මාර්ට් දුරකතන භාවිත වන රට බවට දකුණු කොරියාව පත්ව තිබේ. අමෙරිකාවේ එම අගය 77%ක් වන අතර ජපානයේ 59%ක් වේ. කොරියානු රජයට සම්බන්ධ ප්‍රවාහන ආරක්ෂන අධිකාරිය පවසන ආකාරයට ස්මාර්ට් දුරකතන භාවිතය ඉහල යෑමත් සමගම ඒ නිසා පදිකයන් මාර්ග අනතුරුවලට ලක්වන ප්‍රමාණයද ඉහල ගොස් ඇත. එම තත්වය මත තම ජංගම දුරකතනවලටම සීමාවී ගමන් කරන පුද්ගලයන්ට "සුහුරු දුරකතන පිල්ලි" (“smartphone zombies”) යනුවෙන් අනුවර්ථ නාමයක්ද පටබැඳී තිබේ.

    මෙම නව පද්ධතිය ස්ථාපනය කිරීමේදී පාර මාරුවන ස්ථානවල නිවිනිවී දැල්වෙන ආලෝක සහ ලේසර් කදම්භ නිකුත් කළ හැකි උපාංග සවිකරයි. නිවිනිවී දැල්වෙන ආලෝකය මගින් රියදුරන් සඳහා වේගය අඩු කිරීමටත් පදිකයන්ට සඳහා තම ජංගම දුරකතනයෙන් හිස ඔසවා මාර්ගය දෙස බැලීමටත් අනතුරු ඇඟවීම් නිකුත් කරයි. ඒ ස්ථානවල සවිකර ඇති ලේසර් කදම්භ නිසා සංවේදීවන ස්මාර්ට් ජංගම දුරකතන යෙවුමක් පදිකයන්ට දැන් සිටින ස්ථානය පිළිබඳ පණවුඩයක් (Alert) ලබාදෙයි. එවිට තම ස්මාර්ට් ජංගම දුරකතනය තුළින්ම ඔවුන් දැන් සිටින්නේ මාර්ගයක් අසළද පදික මාරුවක් ආසන්නයේද බව දැන ගත හැකි වේ.

    රජයට අනුබද්ධ ආයතනයක් වන කොරියානු සිවිල් ඉංජිනේරු සහ ගොඩනැගිලි තාක්ෂණ ආයතනය (Institute of Civil Engineering and Building Technology (KICT)) මගින් මෙම පද්ධතිය නිර්මාණය කර ඇත. එවැනි සෑම දිසාවකටම යොමුවූ රෙඩාර් සහ උෂ්ණත්ව සංවේදී කැමරා සමග ඇති මෙම එක් පද්ධතියක් සවිකිරීමට කොරියානු වොං මිලියන 15ක් එනම් අමෙරිකානු ඩොලර් 13250ක පමණ මුදලක් වැය වන බව එම ආයතනය පවසයි. මෙම ක්‍රමය සාර්ථක වුවහොත් මෙය රටපුරා ව්‍යාප්ත කිරීමට අදහස් කරන බව KICT ආයතන වැඩිදුරටත් සඳහන් කරයි.

    ඉල්සාන් නගරයේ පදිංචි 23 හැවිරිදි කිම් ඩැන්-හී පවසන්නේ මෙම පද්ධතිය තමන් ඉතා කැමැත්තෙන් පිලිගන්නා බවයි. තම ජංගම දුරකතනයට මුලු මනින්ම යොමු වී සිටින විට මාර්ග සංඥ කෙරෙහි අවධානය නැතිවී යන බව ඇය පවසයි. "මෙම විටින් විට දැල්වෙන ආලෝකයන් නිසා මට මාර්ගය භාවිතා කිරීමේදී ආරක්ෂාකාරී බවක් දැනෙනවා" යැයි ඇය පවසයි.

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 19:47

    Latest News