කවුද කබාය ගැලවුණු නාගානන්ද ? (විඩියෝ)

මාර් 19, 2019
  • නාගානන්දකොඩිතුවක්කුගේ නීතීඥභාවය වසර තුනකට අත්හිටුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවේදනය කරනු ලැබුවේ මාර්තු 18 වෙනිදාය.

    පසුගිය වසර කිහිපය තුළ ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ දූෂණයට එරෙහිව හඬ නගන නීතිවේදියෙකු වශයෙනි. එමෙන්ම මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග කරන බව ද නාගානන්ද කොඩිතුවක්කු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

    1978 වසරේදී රේගු නිලධාරියෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ නාගානන්ද කොඩිතුවක්කු 2001 වසර වන විට රේගුවේ විමර්ශන අංශ ප්‍රධානියා ලෙස පත්ව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු ද සම්බන්ධ විමර්ශනයකදී එල්ලවූ ජීවිත තර්ජන හමුවේ 2001 සැප්තැම්බර් 21 වෙනි දින සිය පවුලේ සමාජිකයන් ද කැටුව රැකවරණ පතා බ්‍රිතාන්‍ය වෙත ගිය බව ඔහු පවසයි.

    ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන්ට ආරක්ෂාව සැලසීම සඳහා පොලීසියෙන් සහ හමුදාවෙන් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් එවක රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගෙන් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව ඔහුට බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ හිමි වී තිබේ.

    බ්‍රිතාන්‍යයේදී බැරිස්ටර් විභාගය සමත්වී නීතීඥ වෘත්තිය ආරම්භ කළ ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 2009 වසරේදීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔහුට රේගු දෙපාර්තමේන්තුවේ රැකියාව නැවත නොලැබී ඇති අතර පසුව ඔහු ශ්‍රී ලංකාව තුළ නීතිඥ වෘත්තිය ආරම්භ කළේය.

    ඔහු විසින් නඩු ගොනු කිරීමෙන් අනතුරුව සමාජයේ වැඩි අවධානයක් යොමු වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ ගෙන්වන ලද තීරු බදු රහිත වාහන බලපත්‍ර නීති විරෝධී ලෙස අලෙවි කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විධිමත් විමර්ශනයක් සිදු නොකරන බවට චෝදනා කරමින් නාගානන්ද කොඩිතුවක්කු විසින් 2017 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ පෙත්සමයි. තීරු බදු රහිත වාහන බලපත්‍ර විකිණීම මගින් සිදුව ඇති බදු වංචාව රුපියල් බිලියන 07ක් බව ඔහු පවසයි.

    හිටපු අග්‍ර විනිශ්චයකාරවරුන් මෙන්ම දැනට සේවයේ නිරත ඇතැම් විනිශ්චයකාරවරුන්ගේ නම් සඳහන් කරමින් නාගානන්ද කොඩිතුවක්කු අවස්ථා ගණනාවකදී ඔවුන්ගේ ක්‍රියාකලාපය ප්‍රසිද්ධියේ විවවේචනය කළේය. ඔහු විසින් සංවිධානය කරන ලද රැස්වීම්, මාධ්‍ය සාකච්ඡා සහ රූපවාහිනී වැඩසටහන්වලදී ඉදිරිපත් කරන අදහස් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් මෙන්ම ඉන් අධිකරණය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වීමට ඉඩ ඇති බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සමාජිකයන් අදහස් දක්වා තිබුණි.

    මහින්ද රාජපක්ෂට තෙවෙනි වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමට නොහැකි බව පවසමින් නාගානන්ද කොඩිතුවක්කු 2014 වසරේදී අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළේය. ඔහු එහිදී අධිකරණයෙන් ඉල්ලා තිබුණේ අදාළ නඩුව විභාග කර අවසන් වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙසය. කෙසේ වෙතත් 2015 ජනවාරී 08 ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී නාගානන්ද කොඩිතුවක්කු එම නඩුව ඉල්ලා අස් කර ගත්තේය. ඔහු එහිදී මාධ්‍ය වෙත කියා සිටියේ ජනාධිපතිවරණය පරාජයට පත්වන බව එවක ආණ්ඩුවේ ප්‍රධානීන් අවසන් මොහොතේ දැනගත් බැවින් මෙතෙක් විභාගයට නොගත් නඩුව හදිසියේ ම විභාගයට ගැනීම සඳහා බල කෙරී ඇති බවකි.

    උපක්‍රමශීලි පියවරවක් ලෙස තමා අදාළ නඩුව ඉල්ලා අස් කර ගනිමින් මහින්ද රාජපක්ෂට පරාජය වීමට ඉඩ සැලසූ බව ඔහු පවසයි. එම නඩු ගොනුව කලක් සඟවා ගෙන සිටි බවට ඔහු විනිශ්චයකාරවරයාට ද චෝදනා කළේය. මිනිස් පරිභෝජනයට නුසුදුසු ෆාම් තෙල් කන්ටේනර් 24 ක් ශ්‍රී ලංකාවට අනයනය කිරීම සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු විසින් 2018 වසරේ දී අභියාචනාධිකරණයේ නඩුවක් පවරන ලදි.

    මේ අනුව ඔහු පවසා සිටින්නේ නැවත ඔහු එංගලන්තයට යැවිමේ උපකුමයක් ක්‍රියාත්මක බවයි. මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ පිරිනැමු දඬුවමට එරේහිව පෙත්සමක් බ්‍රහස්පතින්ද ඉදිරිපත් කරන බව ඔහු පවසයි.

    (BBC සිංහල)

     

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 19:53

    Latest News