රුසියානු හමුදාව යුක්‍රේනයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලින් පසුබසිමින් සිටින බව යුක්‍රේන ජනාධිපති පවසයි.

අප්‍රේ 02, 2022

    රුසියානු හමුදාව යුක්‍රේනයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලින් පසුබසිමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

    ඔහු යුක්‍රේන හමුදාවට දැනුම්දී ඇත්තේ, ඒ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙසයි. රුසියානු හමුදාවේ පසුබැසීම බොහෝ විට ප්‍රබල ප්‍රහාරයකට සූදානම් වීමක් ලෙස සැලකිය හැකි බව යුක්‍රේන යුද හමුදා බලධාරින් පවසනවා. එහෙත් බටහිර මතවී ඇත්තේ, මේ දිනවල පැවැත්වෙන සාම සාකච්ඡා හේතුවෙන් සටන් විරාමයකට එළැඹීමේ ඉඩකඩ පවතින බවයි.

    චීනයේ ක්‍රියා කලාපය හේතුවෙන් රුසියාවට එරෙහි සම්බාධක බල නොපාන බවට බටහිර රටවල් චෝදනා කරනවා. යුරෝපා සංගමය හා චීනය අතර, මාර්ගගත ක්‍රමයට පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුවී තිබෙනවා. චීනය හා රුසියාව අතර පවතින දැඩි මිත්‍රත්වය හේතුවෙන් රුසියාව සිදුකරන යුක්‍රේන ආක්‍රමණය චීනය හෙළා නොදැකීම යුරෝපයට හා බටහිර රටවලට ගැටළුවක් වී තිබෙනවා. දෙරට අතර, වෙළඳ ගනුදෙනු තවමත් ශක්තිමත්ව පවතිනවා.

    රුසියානු තෙල් චීනය මිලදී ගැනීමෙන් රුසියාව තවත් ශක්තිමත් වන බවයි යුරෝපා සංගමය චීනයට දැනුම්දී ඇත්තේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී තම රටට එරෙහිව ඡන්දය දුන් රටවල් සඳහා නව ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා. ඩොලරය අතහැර, රූබලය හා චීන යුවාන් මගින් පමණක් තෙල් විකිනීමට රුසියාව පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එමගින් රුසියානු බලධාරීන් ප්‍රති සම්බාධක පැනවීමක් සිදුකර ඇති බවද ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

    Latest News