"රිද්මයේ රැජිණ" සමුගනී....

පෙබ 06, 2022

    භාරතයේ ගීත කෝකිලාවිය ලෙස සැලකෙන අසහාය ගායිකා ලතා මංගේෂ්කාර් අද අලුයම අභාවප්‍රාප්ත වුණා.

    92 වැනි වියේදී ඇය දිවි ගමන නිමා කළේ, කොවිඩ්-19 රෝගයේ ගොදුරක් බවට පත්වෙමින්. රෝගාතුර වූ ලතා මංගේෂ්කාර් ජනවාරි මාසයේ අග භාගයේ මුම්බායි රෝහලකට ඇතුළත් කෙරුණා. ඊයේ ඇ‍ගේ තත්වය අයහපත් අතට හැරුණු අතර ස්වසන ආධාරක යන්ත්‍රයකට සම්බන්ධ කෙරුණු බව, වෛද්‍යවරුන් ප්‍රකාශ කළා. අද අලුයම ඇයගේ රෝගී තත්වය මඳක් යහපත් තත්වයට පත්වීම නිසා එම ආධාරක යන්ත්‍ර ඉවත් කළ බව ද සඳහන්. එහෙත් අද පෙරවරු 8.12ට පමණ ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වූ බව මුම්බායිහි බ්‍රිජ්කැන්ඩ් රෝහල ප්‍රකාශයට පත්කළා.
    අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක නිවේදනය කරන්නේ ඉන්දීය ජාතියම මෙම අසහාය ගායිකාවට ගෞරව දක්වන බවයි. ඇයගේ අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක් බව ද ඔහු ප්‍රකාශ කළා. ලතා මංගේෂ්කාර් ඉන්දියාවේ හා බාහිර ලෝකය විසින් හඳුන්වනු ලබන්නේ "රිද්මයේ රැජිණ" ලෙසයි. 1929 සැප්තැම්බර් 28 වැනිදා ඇය මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්ද‍හෝර් නගරයේ උපත ලැබුවා. ලතා මංගේෂ්කාර් ප්‍රථම වරට හින්දි චිත්‍රපටයකට ගීතයක් ගායනා කළේ 1942 වසරේදී. 1945 දී බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වූ ඇය, දිගින් දිගටම චිත්‍රපටි පසුබිම් ගායනයට එකතු වුණා. 1950-60 දශකය වනවිට ඇය බොලිවුඩ් සිනමාවේ වැඩිම ඉල්ලුමක් ඇති පසුබිම් ගායිකාවක් බවට පත්වුණා.

    මුල් යුගයේ ජනප්‍රිය හා සුප්‍රකට නිලියන් වූ මධු බාලා, නර්ගීස්, වෛජයන්තිමාලා වැනි සිනමා ශිල්පිණියන් නිරූපනය කළ චරිතවලට පසුබිම් ගායනය ඇය විසින් ලබාදුන්නා. මෙම යුගයේදී ඇයගේ සේවය ලබාගැනීම සඳහා සිනමා අධ්‍යක්‍ෂවරු අතර පැවතියේ දැඩි තරගයක්. ලතා මංගේෂ්කාර් සිය කලා දිවියට මුල්තැන දෙමින් ජිවිත කාලය පුරාම තනිකඩ ජිවිතයක් ගත කළා. ඇය, භාෂා 36කින් ගීත තිස් දහසකට අධික සංඛ්‍යාවක් ගායනා කර තිබෙනවා. 1955 වසරේ තිරගත වූ "සැඩ සුළං" චිත්‍රපටය ද ලතා මංගේෂ්කාර් "මා ප්‍රියාදර ජයභූමි" යන ගීතය ගායනා කළා. ඇය ඉන්දියාවේ ඉහළතම සම්මාන සියල්ලන්ගෙන්ම පිදුම් ලැබුවා. 2001 වසරේ පිරිනැමු "භාරත්රත්න" සම්මානය ඒ අතරින් විශේෂයි. ඊට අමතරව ප්‍රංශ රජය එරට ඉහළම සම්මානය ලතා මංගේෂ්කාර්ට ලබාදීමට පියවර ගත්තා.
    ශ්‍රී ලංකාවේ සුවහසක් හින්දි ගීතලෝලීන් භාරත ගීත කෝකිලාවියගේ අභාවය පිළිබඳ ශෝක වනවා.

    Last modified on ඉරිදා, 06 පෙබරවාරි 2022 12:16

    Latest News