ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් මහා තරගයට...

සැප් 10, 2022

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අවසන් මහා තරගය හෙට (11) ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතයි.

    ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට පිවිසෙන්නේ සුපිරි 4 දෙනාගේ වටයේදී අපරාජිතවයි.  ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසන් තරගය ලෙස ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පකිස්ථානයට ආරධනා කළා.

    ඒ අනුව, පිටියට පිවිසි පකිස්ථානු කණ්ඩයමට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. පකිස්ථානු ඉනිම නිමා වුණේ පන්දු වාර 19 එක්  පන්දුවක් අවසායේ ලකුණු 121කටයි. පකිස්ථානු ඉනිමේ ප්‍රථම කඩුල්ල ලෙස දැවී ගියේ නායක බාබර් අසාම්. සිය මංගල තරගය ක්‍රිඩා කළ ප්‍රමෝද් මධුෂාන්ගේ පන්දුවකටයි ඔහු දැවී ගියේ. ප්‍රමෝද් මධුෂාන් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු දෙකක් ලබා ගත්තා.  මහිෂ් තීක්ෂණ කඩුළු 2යි. වනිඳු හසරංග නැවතත් සිය සුපුරුදු රිද්මයට පැමිණෙමින් පකිස්ථානු කණ්ඩායමේ කඩුලු 3ක් දවා ගත්තා.

    ලකුණු 122 ක ජයග්‍රහාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුලු 02 ලකුණු 2ක් තුළ දවා ගැනීමට පකිස්ථානු වේගපන්දු යවන්නන්ට හැකි වුණා. පසුව  පැතුම් නිශ්ශංක සහ භානුක රාජපක්ෂ කණ්ඩායම නැවතත් ජයග්‍රාහි මාවත වෙත රැගෙන ගියා. පැතුම් මෙවර තරගාවලියේ ලබාගත් දෙවන අර්ධ ශතකය සමගින් නොදැවී ලකුණු 55ක් රැස් කළා. භාණුක රාජපක්ෂ ලකුණු 24යි. පන්දු යැවීමෙදී මොහොමඩ් හස්නයින් සහ හාරිස් රව්ෆ් කඩුලු 02 බැගින් දවා ගත්තා. තරගයේ වීරයා වනිඳු හසරංග.  

    ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ මෙවර ශ්‍රීලංකාව අවසන් තරගයට සුදුසුකම් ලැබුයේ 12 වැනි වරටයි. ඒ අනුව ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම වාර ගණනක් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන ඇති වාර්තාව ද ශ්‍රී ලංකාව සතුයි. වැඩිම වාර ගණනක් ශූරතාව හිමිකරගෙන ඇත්තේ ඉන්දිය කණ්ඩයමයි. ශ්‍රී ලංකා 5 වරක් ආසියානු ක්‍රිකට් කිරුළ හිමිකරගෙන තිබෙනවා. පකිස්ථානය ශුරතාව හිමිකරගෙන ඇත්තේ දෙවරක් පමණයි.   

    Latest News