windy.com windy.com

අධික වර්ෂාව සහිත ප්‍රදේශවල නායයාම් ගැන අවධානයෙන්

මැයි 01, 2019

    අධික වර්ෂාව සහිත ප්‍රදේශවල නායයාම් ඇතිවිය හැකි බැවින් අවධානයෙන් පසුවන්න යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    සුළි කුණාටුවේ බලපෑම නිසා දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. සුළි කුණාටුව මේ වන විට ප්‍රචණ්ඩ ස්වභාවයක් ගෙන ඇති අතර කෙසේ වුවද එය දිවයිනෙන් බැහැරට ගමන් කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසන්නේ. එහෙත් කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉදිරි දින දෙක තුළ ද වැසි සහ සුළං ඇති විය හැකියි. ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර, වයඹ පළාත් සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 දක්වා වැසි හට ගනු ඇත.

    උතුරු, උතුරු මැද, වයඹ, දකුණ යන පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලටත් තද සුළං ඇති විය හැකියි. දිවයින වටා බොහෝ ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බැවින් නාවුක සහ ධීවර ප්‍රජාව සැලකිලිමත් වන්නැයි, කාලගුණ නිවේදනයේ සඳහන් වේ.

    Latest News