අපේ‍්‍රල් 03 සිට මත්ද්‍රව්‍ය වැටලීමට නව මුහුණුවරක්

මාර් 25, 2019

    කොළඹ නගරයේ සහ මුහුදුබඩ ප‍්‍රදේශ ආශි‍්‍රතව මත්ද්‍රව්‍ය වැටලීම් ලබන අපේ‍්‍රල් 03 වනදා සිට වඩා පුළුල් කිරීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

    ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව ඉතා ශක්තිමත් අයුරින් එම වැටලීම් සිදුකිරීමට සැලසුම් සකස් කර තිබෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයේ නව පිහිනුම් තටාකය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (25) පෙරවරුවේ එක්වෙමිනි.

    දිස්ති‍්‍රක්කයේ පාසල් දරුවන්ගේ කී‍්‍රඩා කෞශල්‍යය ඉහළ නැංවීමේ අරමුණින්, පිබිදෙමු පොළොන්නරුව, දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 450ක් වැය කරමින් මෙම පිහිනුම් තටාකය විද්‍යාලය වෙත ලබා දී තිබේ. සමරු ඵලකය නිරාවරණය කර පිහිනුම් තටාකය සිසු අයිතියට පැවරු ජනාධිපතිතුමා සිසුන්ගේ ඉදිරිපත් කිරීම් නිරික්ෂණය කිරීමට ද එක් විය. උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු පිරිසක් ද විදුහල්පතිනි, ආචාර්ය මණ්ඩලය ආදි සිසුන් සහ සිසු දරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 600ක වියදමින් මින්නේරිය ජාතික පාසලේ ඉදිකෙරුණු නව පන්ති කාමර ගොඩනැඟිල්ල සහ ශ‍්‍රවණාගාරය සිසු අයිතියට පවරාදීම ද අද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය. එම විද්‍යාලය වෙත ද ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගන්නා ලදී. සමරු ඵලකය නිරාවරණය කර නව තෙමහල් පංතිකාමර ගොඩනැඟිල්ල සහ ශ‍්‍රවණාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    මේ අතර විද්‍යාලයේ අඩුපාඩු කිහිපයක් පිළිබඳ දරුවන් කරන ලද ඉල්ලීම අනුව විද්‍යාලය වෙත ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධතියක් සහ බටහිර තූර්ය වාදන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් ලබා ගැනීමට ප‍්‍රතිපාදන ලබාදීමට ඉදිරි සති දෙක තුළ දී කටයුතු කිරීමට ජනාධිපතිතුමා එකඟතාව පළ කළේය. ප‍්‍රදේශයේ නිවාස නොමැති පවුල් කිහිපයක් වෙනුවෙන් ඉදිකෙරුණු නිවාසවල හිමිකම් ප‍්‍රදානය කිරීම ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු විය. විදුහල්පතිනි ඊ.එම්. ස්වර්ණා කුමාරි මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ අලුත්ඔය කනිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය. එම විද්‍යාලයේ දරුවන් විසින් ද ජනාධිපතිතුමා මහත් සෙනෙහසින් යුතුව පිළිගත්තේය. සමරු ඵලකය නිරාවරණය කර නව පන්ති කාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා විද්‍යාලයේ සෙසු අඩු පාඩු පිළිබඳව ද සොයා බැලීය. ප‍්‍රදේශයේ මහජන ගැටලු රැසක් ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට ලක් විය.

    මේ අතර අලුත්ඔය විද්‍යාලය ඉදිරිපිට ඉදිකෙරුණු අලුත්ඔය මිනිහිරිගම හෙළ බොජුන් හල අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයේ පිහිනුම් තටාකය සිසු අයිතියට පත්කරමින් ජනාධිපතිතුමා කළ කතාව.

    ආනන්ද බාලිකාවට දීර්ඝ කාලයක සිට අවශ්‍ය ව තිබූ කායික, මානසික සෞඛ්‍ය වැඩිදියුණු කර ගැනීමට වඩාත් උපකාරීවන පිහිනුම් ක‍්‍රීඩාව සඳහා නව පිහිනුම් තටාකයක් ලබාදීමට හැකිවීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රථිපලයක් විදියට ලංකාවේ බොහෝ පාසල්වල විභාග ප‍්‍රතිඵල ගොඩක් හොඳයි. මේ පාසලේ විදුහල්පතිතුමිය භාරදුන් ලිපියේ තිබුණා පසුගිය වසරේ මේ පාසලේ උසස් පෙළ විභාග ප‍්‍රතිඵල ඉතාම හොඳ බවක්. මම හිතන්නේ 56% ද කොහෙද විභාගයට වාඩි වූ සිසුන්ගෙන් විශ්වවිද්‍යාලයට තේරී පත්ව තිබෙනවා.

    දරුවන් අද නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රතිපල භුක්ති විඳිනවා වගේම ජීවිත සමත්කර ගැනීමේ අභියෝගය ද දරුවන් සතුව තියෙනවා. ඒ ජීවිත සමත් කර ගනීමේ අභියෝගයේ දී විශේෂයෙන්ම දැනුම සහ උගත්කම බලපානවා. එය අංක එක. ඒ ගැන කිසිම තර්කයක් විවාදයක් නැහැ. හොඳට පාඩම් කරන්න ඕනෑ. හොඳට විභාගය සමත් වෙන්න ඕනෑ. ජීවිතය සමත් කර ගැනීමේ අභියෝගයට දෙන්න පුඑවන් ශක්තියක් තමයි ක‍්‍රීඩාව, බාහිර ක‍්‍රියාකාරකම්, වෙනත් සංස්කෘතික අංගයන් පිළිබඳව වගේම ප‍්‍රායෝගික අත්දැකීම් සහ පුහුණුව.

    ඊයේ හවස විද්‍යුත් මාධ්‍යයේ සහ අද පුවත්පත්වල ඔබ දකින්නට ඇති පෙරේදා රාත‍්‍රියේ ශ‍්‍රි ලංකා නාවික හමුදාව සහ විශේෂ කාර්ය බළකාය එක්ව කළ මෙහෙයුමකින් මත්කුඩු නැවක් අත්අඩංගුවට ගත් පුවත. පෙරේරා රාත‍්‍රී ඒ නැව වටකළාට පසුව නාවික හමුදා ප‍්‍රධානියා මාව දැනුවත් කළා. ඔහු පැවසුවා අපි දැන් නැව අපේ භාරයට ගෙන තිබෙන්නේ පැය 12 ක් විතර යයි රට ඇතුළට එන්න කියලා. ගොඩබිමේ සිට මුහුදු සැතපුම් 12 ඇතුළත දී තමයි ඉරාන ජාතිකයින් 09 දෙනෙක් සිටි මේ මත්කුඩු නැව අත්අඩංගුවට ගත්තේ. අපේ හමුදා මේ නැව වටකරන බව ඒ අයට දැනුණා. ඒ නිසා නැවේ තිබුණු කිලෝග්‍රෑම් 600 කින් කිලෝග්‍රෑම් 500ක් මුහුදට දාන්න ඒ අයට පුළුවන් වුණා. අල්ලගන්න කොට ඉතිරි වෙලා තිබුණේ කිලෝග්‍රෑම් 100ක් විතරයි. දැන් මේ මත්කුඩු ගේන්නේ මොනවටද.

    මේ රටේ විශ්වවිද්‍යාලවලට මත්කුඩු නොමිලයේ බෙදා හරිනවා ජාවාරම්කරුවන් විසින්. එය මහා ඛේදවාචකයක් වෙලා තියෙන්නේ අපේ රටට. මේ රටේ කීර්තිමත් පාසල්වල, ද්වීතික පාසල්වල අද මත්කුඩුවලට ඇබ්බැහි වූ පාසල් දරුවන් සිටිනවා. මේ පිළිබඳ නිතර පැමිණිලි එනවා. සමහර වෙලාවට මම අදාළ නිලධාරීන්ට කියලා එහෙම පාසල්වල පංතිකාමර වටකරපු අවස්ථා තිබුණා. මම ඒ පාසල්වල නම් කියන්න යන්නේ නැහැ. හො`ද නැති නිසා. සමහර පාසල්වල විදුහල්පතිතුමාට සහ ගුරු මණ්ඩලයට පාසල පාලනය කරගන්න බැහැ උසස් පෙළ පංතිවල මත්ද්‍රව්‍ය භාවිතා කරන ළමයි නිසා. මෙහි අනික් ඛේදවාචකය ගැහැනු දරුවොත් මේවාට දැන් පෙළඹිලා තියෙනවා.

    මෙය බරපතල ජාතික ව්‍යසනයක්. ඒ නිසා අපි දැනුම, අධ්‍යාපනය, විභාග සමත්වීමට වගේම ජීවිතය සමත්වීමේ අභියෝගය පැහැදිලිව තේරුම් ගන්න ඕනෑ. දෙමව්පියන් දරුවන්ට එය හොඳින් කියලා දෙන්නට ඕනෑ. ඇත්තම කියනවා නම් දෙමව්පියන් දරුවන් ගැන සොයනවා මදි. එය ප‍්‍රධාන ප‍්‍රශ්නයක්. පාසලට එන දරුවා පාසලේ ඉන්නේ පැය 05යි. ඉතිරි කාල සීමාව සම්පූර්ණයෙන් ම නිවසේ දෙමව්පියන්ගේ ඇසුරේ. ඒ කාල සීමාව තුළ දෙමව්පියන් දරුවා ගැන බලන්න ඕනෑ. විශේෂයෙන් ම දරුවා උපකාරක පන්ති ගියාද අතරමග කොහේද දරුවා රැඳුනේ. කරුවල වැටුණාහම ගෙදර ඉන්නවා ද කාමරයේ ඉන්නවා ද මොනවද කරන්නේ කියලා දෙමව්පියන් නිරන්තරයෙන් සොයා බැලිය යුතුයි.

    මත්කුඩු පාවිචිච් කරන පාසල් දරුවන් පිළිබඳව ලැබෙන වාර්තා අනුව විශේෂයෙන්ම පාසල්වල දැනට වඩා කාර්යක්ෂම විධිමත් වැඩ පිළිවෙළක අවශ්‍යතාවය මම ඉතාමත් දැඩි ලෙස ඔබට අවධාරණය කරනවා. අපි ලබන අපේ‍්‍රල් 03 වෙනිදා මුළු රටේ රාජ්‍ය සේවකයින් ති‍්‍රවිධ හමුදාව, පාසල් දරුවෝ, පෞද්ගලික අංශයේ සේවකයන් මත්දව්‍යවලට විරැද්ධව බක්මහ දිවුරුම නමින් දිවුරුමක් දෙනවා. ඒ වගේ ම අපේ‍්‍රල් 03 වෙනිදායින් පසුව දැනට කරන වැටලීම් වැඩි කරන්න සැලසුම් කරලා තියෙනවා.

    දැනට ති‍්‍රවිධ හමුදාව, පොලිසියත් සමග සම්බන්ධවෙලා කරන වැටලීම් අපේ‍්‍රල් 03 වෙනිදායින් පසුව මීට වඩා ශක්තිමත් කරනවා. ඔබට දැක ගන්න පුළුවන් මත්කුඩු විශාල වශයෙන් භාවිතා වන කොළඹ නගරය, ඒ වගේම බස්නාහිර පළාතේ මුහුදුබඩ ප‍්‍රදේශ, දකුණු පළාතේ මුහුදුබඩ ප‍්‍රදේශ, පුත්තලම වගේ මුහුදුබඩ ප‍්‍රදේශ, නැගෙනහිර පළාතේ මුහුදුබඩ ප‍්‍රදේශ අති විශාල වශයෙන් ත‍්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධ වූ පුළුල් වැටලීම් කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය පිළිබඳ ප‍්‍රශ්නය සුළු කොට තකන්න එපා කියන එක දෙමව්පිටන්ට මම මතක් කරනවා.

    පොළොන්නරු දිස්ති‍්‍රක්කයට කුඩු බෙදා හැරීම පිළිබඳව දැන් අවුරුදු දහයක පහළොවක ඉඳලා වාර්තා වෙන්නේ හිඟුරක්ගොඩ ප‍්‍රදේශයෙන්. හිඟුරක්ගොඩට තමයි මත්කුඩු එන්නේ. එතනින් තමයි අනෙක් ප‍්‍රදේශවලට මත්කුඩු යන්නේ. මෙතන දෙමව්පියෝ දන්නවා ඇති පසුගිය දවස්වල හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ කිහිප තැනකම අත්අඩංගුවට ගැනීමේ කළා. මීට අවුරුදු තුනහ හතරකට කලිනුත් කළා. මේ අවාසනාවන්ත තත්ත්වය මේ ප‍්‍රදේශවලින් ඉවත් කරන්න පොලිසියට විතරක් බැහැ වඩාත්ම මහජන සහය තියෙන්නේ අවශ්‍යයි.

    මේ අවුරුදු හතරට ජනාධිපතිවරයා විදියට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විතරක් හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට විතරක් රුපියල් කෝටි 126 ක වැඩ කරලා තියෙනවා. අධ්‍යාපනයට කෝටි දාහත හමාරක්. ආගමික කටයුතුවලට කෝටි පහයි. පානීය ජලය කෝටි එක හමාරයි. වැව් ප‍්‍රතිසංස්කරණයට කෝටි තුනයි. සෞඛ්‍ය රෝහල් වැඩි දියුණු කරන්න, කෝටි විසි පහයි.

    ග‍්‍රාමීය සංවර්ධනයට කෝටි විසි අටයි. ප‍්‍රාදේශීය සභා පළාත් පාලනයට කෝටි දොළහයි. ස්වයං රැකියාවලට කෝටි එක හමාරයි. නිවාස ඉදිකිරීමට කෝටි දෙක හමාරයි. මාර්ග සංවර්ධනයට කෝටි 54යි. මේ විදියට කෝටි 126 ක් මේ අවුරුදු හතරේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විතරක් වැයකරලා තිබෙනවා. ඒ සංවර්ධනයේ ප‍්‍රතිඵල ඔබ දන්නවා. දැන් අදත් මෙතනින් යන්නේ මින්නේරිය ජාතික පාසලට, එතැන විවෘත කිරීම්වලට. එතැනින් යන්නේ හබරණ අලුත්වැවට. ඔබට මතක ඇති පසුගිය අවුරුද්දේ දින දෙක ඇතුළත මේ දිස්ති‍්‍රකක්යේ ව්‍යාපෘති සීයයක් මැති ඇමතිවරුන් ඇවිත් විවෘත කළා.

    මේ ලබාදෙන දේවල්වලට නිසි නඩත්තුව අත්‍යාවශ්‍යයි. මම කනගාටුවෙන් කියන්නේ. මේ පිහිනුම් තටාකය පාවිචිචි නොකර තිබ්බොත්, ජලය හිස්ව තිබ්බොත් මේක පුපුරලා විනාශ වෙනවා. කෝටි හතරම ඉවරයි. ඒක නිසා මේ පිහිනුම් තටාකය නඩත්තුව නිසි පරිදි විය යුතුයි. දැන් පොළොන්නරුවේ රාජකීය විද්‍යාලයේ පිහිනුම් තටාක දෙකක් තියෙනවා. ඔබ පිහිනුම් කී‍්‍රඩාවේ යෙදෙන අනෙක් අයත් එක්ක පිහිනුම් සමාජයක් හදගන්න. විදුහල්පතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඒ පරිපාලන කටයුතු කරන්න, හිඟුරක්ගොඩ පිහිනුම් ශූරයෝ ඉන්නවා. බාහිර පාසල්වල නොවන තරුණ පිරිස් ඒ අයත් සම්බන්ධ කරගෙන පිහිනුම් සමාජයක් හදලා, මේ නඩත්තු කටයුතු කරගෙන යන්න වැඩ පිළිවෙළක් හදන්න. කිසිසේත්ම මේ පාසලට පුළුවන් කමක් නැහැ තනියම මේ පිහිනුම් තටාකය ගෙන යන්න.

    ඔබ සියලු දෙනාට ආශිර්වාද කරනවා ආනන්ද බාලිකාවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කි‍්‍රඩා කටයුතු සාර්ථක වේවා ඒ වගේම අනෙකුත් සියලු දේවලට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ප‍්‍රකාශ කරනවා. ඔබ සියලු දෙනාට වාසනාවන්ත අනාගතයක් ප‍්‍රාර්ථනා කරනවා.

    Last modified on සදුදා, 25 මාර්තු 2019 19:37

    Latest News