අමෙරිකාවෙන් ඩොලර් මිලියන 40 ක ආධාර...

සැප් 11, 2022

    ගොවීන්ට පොහොර මිලදී ගැනීම සහ වෙනත් කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන්, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 40 ක අතිරේක ආධාර ලබාදීමට, අමෙරිකානු රජය පියවර ගෙන තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ චාරිකාව නිරත, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය, ඊයේ (10) මේ බව නිවේදනය කළා.  1950 දශකයේ සිටම ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත්, “යූ.එස්. ඒඩ්” ආයතනය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ආධාර ලබාදෙනවා. එහි ප්‍රධානී,  සමන්තා පවර් මහත්මිය ඇතුළු දූත පිරිස ඊයේ උදේ 9.00ට පමණ කටුනායක බණඩාරනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් මෙරටට පැමිණියා.

    ඇය සමඟ දූත පිරිස ලෙස තවත් සිව් දෙනෙකු චාරිකාවට එක්ව සිටිනවා. ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ මෙරට ජනතාවට සහයෝගය දැක්වීම චාරිකාවේ අරමුණයි. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය දින දෙකක් මෙරට රැදි සිටින අතර එහිදි ඇය අමාත්‍යවරුන්, රජයේ ඉහළ නිලධාරින් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරිමට නියමිතයි. 

    ඊයේ (10) පස්වරුවේ පැවති වැඩසටහනකදී සමන්තා පවර් මහත්මිය, ශ්‍රී ලංකාව සඳහා අතිරේක ආධාර වැඩසටහනක් ප්‍රකාශයට පත් කළා. ඒ, වත්මන් අර්බුදයෙන් පීඩිත ගොවීන්ට පොහොර මිලදී ගැනීම සහ වෙනත් කෘෂිකාර්මික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහායි. අමෙරිකානු කොංග්‍රසයේ අනුමැතිය යටතේ ඩොලර් මිලියන 40 ක අතිරේක ආධාර මුදලක් පිරිනැමෙන බව, සමන්තා පවර් මහත්මිය ප්‍රකාශ කරනවා.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමග ඒකාබද්ධව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. මේ යටතේ ඉදිරි මහ කන්නය සඳහා ගොවීන් දස ලක්‍ෂයකට ආසන්න පිරිසකට සෙත සැලසෙනු ඇතැයි “යූ.එස්. ඒඩ්” නිවේදනයේ සඳහන්. ගොවීන් පනස් තුන්දහසකට හදිසි මුදල් ආධාර පිරිනැමීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.

    Last modified on ඉරිදා, 11 සැප්තැම්බර් 2022 09:57

    Latest News