අධිවේගී මාර්ගයේ අනතුරකින් වාහන ධාවනයට බාධා...

මැයි 28, 2022

    දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ඉන්ධන බවුසරයක් අනතුරට ලක්වතිබේ.

    අනතුර සිදුව ඇත්තේ කිලෝමිටර් 29 දශම 9 දොඩංගොඩ ප්‍රදේශයේදී යි. ආපදාවට ලක්ව නවතා තිබූ ලොරි රථයක පිටුපස මෙම ඉන්ධන බවුසරය ගැටීමෙන් අනතුර සිදුව තිබේ. අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කළ බවයි,  දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසන්නේ.

    අනතුරින් බරපතළ තුවාල ලබාඇත්තේ බවුසරයේ ගමන් ගත් පුද්ගලයකු සහ ලොරි රථයේ රියදුරු බවට වාර්තාවී ඇත්තේ. එම අනතුරත් සමඟම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම - දොඩම්ගොඩ කොටසේ වාහන ධාවනය රාත්‍රී 10 සිට අලුයම 6 පමණ දක්වා පැය 8 කට ආසන්න කාලයක් වසා දැමීමට සිදුව තිබේ. අනතුර සිදුව ඇත්තේ කොළඹ සිට දෙනියායට අල, ලූනු තොගයක් රැගෙන යමින් සිටි ලොරි රථයේ ටයරයක ඇති වූ ආපදාවක් හේතුවෙන් ලොරිය කිලෝමීටර් 29 දශම 9 ප්‍රදේශයේ නවතා රෝදය මාරු කරමින් සිටියදී මුතුරාජවෙල සිට ගාල්ලට ඉන්ධන ලිටර් 33000 රැගෙන යමින් සිටි බවුසරය ලොරි රථයේ පිටුපස ගැටීමෙන් බවයි, පොලිසිය පවසන්නේ.

    අනතුරින් බවුසරයේ ඉදිරිපස කොටසට බරපතල අලාභ සිදු වී ඇති අතර අනතුරත් සමඟම ලොරිය මාර්ගය හරහා පෙරළී තිබේ. මේ හේතුවෙන් දොඩංගොඩ ප්‍රදේශයෙන් ගාල්ල දෙසට මංතීරුව අවහිරවීමෙන් කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ සියලුම වාහන ගමන් ගත් මාර්ගයේ ම ආපසු ගැලණිගමට හරවා යැවීමට පියවර ගත් බවත්, දොඩම්ගොඩ දෙස සිට කොළඹ දෙසට පැමිණෙන වාහන දොඩංගොඩ පිවිසුමෙන් පිටතට යැවීමටත් කටයුතු කර ඇත.

    ඒ සමගම ගැලනිගම ප්‍රදේශයෙන් ගාල්ල දෙසට මංතීරුව ද වසා දැමීමට පියවර ගෙන ඇත. සිදුවූ අනතුරෙන් බවුසරයේ ඉදිරිපසට බරපතල අලාභ මෙන්ම ලොරි රථයට සහ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට ද බරපතල අලාභ සිදු වී ඇතැයි පොලිසිය පවසා ඇත. වැඩිදුර පරීක්ෂණ දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය මගින් සිදුකරනු ලබයි.

    Latest News