මත්ද්‍රව්‍ය නඩු විභාගයට වෙනම අධිකරණයක්

මාර් 01, 2019

    මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අවධානය යොමු වෙයි.

    ඒ පිළිබඳ තමා ඉදිරි කැබිනට් මණ්ඩලයේ දී සාකච්ජා කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය පාලනය හා අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත් පිළිබඳ අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ජාවක දී ය.

    මත්ද්‍රව්‍ය අපරාධවලට අදාළ නඩු විභාග වීමට දීර්ඝ කාලයක් ගතවීම, මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළට මහත් බාධාවක් වී ඇති මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිතුමා එම තත්ත්වය වහා නිවැරදි විය යුතු බව ද අවධාරණය කළේය. දැනට තිබෙන මහාධිකරණ සංකීර්ණයේම එම නව අධිකරණය ස්ථාපිත කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

    එමෙන්ම මෙම සාකච්ජාවේ දී වැඩිදුරටත් අවධාරණය කෙරුණේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම පිළිබඳ අද රටේ සියලූ ජනතාවගේ අවධානය යොමුව තිබෙන බවයි. මේ අතර අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම පිළිබඳ ක‍්‍රමවේදයේ සංශෝධනයන්හි වැදගත්කම ද මෙම සාකච්ජාවේ දී අවධාරණය කෙරුණු අතර, ඒ පිළිබඳ පවතින නීතිමය ප‍්‍රතිපාදන පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ජා විය.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා පුනරුත්ථාපන අධිකාරියක් පිහිටුවීමේ කටයුතු මේ වනවිට ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් සිදුකෙරෙමින් පවති. එම අධිකාරිය පිහිටුවන තුරු අදාළ සැලසුම් සකස් කිරීමට අන්තර් පාලක මණ්ඩලයක් ජනාධිපතිතුමා විසින් පත් කර තිබෙන අතර එහි ක්‍රියාකාරිත්වය ද මෙහිදී විමසා බැලිනි.

    එමෙන්ම පාසල් ළමුන් බාබුල් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ප‍්‍රවණතාවය වැඩිවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු වූ අතර නීතිමය ප‍්‍රතිපාදන නොමැති බැවින් මේ සඳහා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් වී ඇති බව විදුහල්පතිවරුන්ගෙන් සහ පොලිස් නිලධාරින්ගෙන් තමන් වෙත තොරතුරු ලැබී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා ඊට අදාළ නීතිමය සංශෝධන පිළිබඳව ද නිලධාරින්ගේ අවධානය යොමු කළේය.

    බන්ධනාගාරවල ආරක්ෂාව සහ ඒ තුළ සිදුවන අක‍්‍රමිකතා වැළැක්වීම පිළිබඳව ද මෙම සාකච්ජාවේ දී විශේෂ අවධානය යොමු වූ අතර වැලිකඩ බන්ධනාගාරයේ සිටින භයානක අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීම පිළිබඳ වත්මන් තත්ත්වය විමසූ ජනාධිපතිතුමා එම කටයුතු කඩිනම් කරන ලෙස ද අදාළ අංශවලට උපදෙස් දුන්නේ ය.

    මෙම කටයුතුවල ප‍්‍රගතිය විමසා බැලීමේ සාකච්ජාවක් අප්‍රේල් 02 වන දින තම ප‍්‍රධානත්වයෙන් නැවත කැඳවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දෙන ලදී.
    ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ අදාළ සියලූ ආයතනවල ප‍්‍රධානිහු මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

    Latest News