ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි...(වීඩියෝ)

දෙසැ 18, 2021
  • ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි.

    ඒ නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. සංඝමිත්තා මහ රහත් තෙරණිය ඇතුළු දූත පිරිස, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රැගෙන දිවයිනට වැඩම කළේ අද වැනි දිනකයි. ඒ සමඟ ශ්‍රී ලංකාවේ භික්‍ෂුණි ශාසනය ආරම්භ කෙරුණා.
    මෙරට කාන්තාවන්ට එතෙක් නොතිබූ ජාතික හා ආගමික නිදහස හිමිවූයේ ද ඒ සමඟයි. දෙවනපෑතිස් රජුගේ ඉල්ලීමකට අනුව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව, සිදු කෙරුණු එම ලංකා ගමනය මෙරට ආගමික හා සමාජයීය වෙනස්කම් රැසක්ට හේතුවුණා.

    සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව මෙවර ශ්‍රී පාද වන්දනා සමය ද අද ආරම්භ කෙරුණා. පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරස්ථානයේ සිට සධාතුක කරඬුව සහ දේවාභරණ රැගක් විශේෂ රිය පෙරහැර ඊයේ පස්වරුවේ නල්ලතන්නිය ශ්‍රී පාද ධර්ම මධ්‍යස්ථානය වෙත ළඟාවුණා. අද උදෑසන යෙදී තිබූ සුබ නැකතින් ශ්‍රී පාද පත්මය දෝවනය කිරීමෙන් අනතුරුව සධාතුක කරඬුව සහ දේවාභරණ ශ්‍රී පාදස්ථානයේ තැන්පත් කෙරුණා.

    සෑම පුර ප‍සලොස්වක පොහෝ දිනකම සංවිධාන කෙරෙන "අමාදම් සිසිලස" ධර්ම දේශනා මාලාවේ 217 වැනි ධර්ම දේශනාව අද පැවැත්වුණේ නුවරඑළිය අග්‍රාමාත්‍ය නිල නිවසේ සිටයි. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන්.
    ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ පූජ්‍ය ගල්ලැහැපිටියේ ප්‍රේමරත්න ස්වාමීන් වහන්සේ විසින්.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව "සද්ධර්ම වර්ෂා" පොහොය ආගමික වැඩසටහන් අද දවස පුරා සජීව ලෙස විකාශය කරන්නේ හාරිස්පත්තුව පූජාපිටිය උඩුමුදුන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ සිටයි. ධර්ම දේශනා, ධර්ම සාකච්ජා ඇතුළු වැඩසටහන් රැසක් මීට ඇතුළත්.

    Last modified on සෙනසුරාදා, 18 දෙසැම්බර් 2021 13:28

    Latest News