සයිනොෆාම් එන්නත් මාත්‍රා විසි ලක්‍ෂයක් දිවයිනට

ජූලි 22, 2021

    චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා විසි ලක්‍ෂයක් අද (23) මෙරටට රැගෙන එනු ලැබීය.

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ, මේ වනවිට ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 80 ලක්‍ෂ 40,200ක්. අද හිමි වූ එන්නත් මාත්‍රා තොගය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට රැගෙන එනු ලැබූවේ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්, "යූ එල් 869" සහ "යූ එල් 865" දරණ ගුවන් යානා දෙකෙන්. එක් යානයකින් එන්නත් මාත්‍රා ලක්‍ෂ 10 බැගින් රැගෙන විත් තිබේ.

    අනතුරුව ඉන් එන්නත් මාත්‍රා දස ලක්‍ෂයක් කොළඹ-සේරම් පාරේ පිහිටි මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන ගියේය. අද හිමිවූ එන්නත් මාත්‍රා තොගයත් සමඟ ශ්‍රී ලංකාවට මෙතෙක් රැගෙන විත් ඇති සයිනොෆාම් සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලක්‍ෂ 91ක්.

    අද රැගෙන එනු ලැබූ එන්නත් තොගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා හාර ලක්‍ෂයක්, ගාල්ලට එන්නත් මාත්‍රා දෙලක්‍ෂ 75,000ක් හා මාතර, බදුල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා දෙලක්‍ෂය බැගින් ලබාදීමට නියමිතයි.

    හම්බන්තොට දිස්ත්‍රික්කයට හිමිවන එන්නත් මාත්‍රා සංඛ්‍යාව එක් ලක්‍ෂ 25,000ක්. පුත්තලම, පොළොන්නරුව, නුවරඑළිය, මොණරාගල, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක සඳහා එන්නත් මාත්‍රා ලක්‍ෂය බැගින් ලබාදීමට පියවර ගෙන තිබේ.

    Latest News