අගමැතිතුමා “අමාදම් සිසිලස” 207වැන්නට එක්වෙයි (වීඩියෝ)

පෙබ 26, 2021
  • අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 207 වැන්න අද (26) දින විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී පැවැත්විණි.

    ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නියැළුණු අග්‍රාමාත්‍යතුමා, ධර්ම දේශනය සඳහා වැඩම කළ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය ගෞරවාර්හ තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමියන්ට දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළේය.

    අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදාදීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම පැවැත්වෙන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 207වැනි ධර්ම දේශනාවට මතෘකාව වූයේ නවම්පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම හා බැඳී පවතින ආදර්ශයයි.

    අගමැතිතුමා එදත්-අදත් තමන්ගෙ රටේ ජනතාව පාලනය කරනවිට වගකිව යුතු කොටස් භාර දෙනවා. ඒවාට අවශ්‍ය සුදුසුකම් මැනලා සොයා බලලා. බුදුරජාණන් වහන්සේත් තනතුරු දෙනවිට ඒවට සුදුසුකම් තියෙන භික්ෂුන් වහන්සේ හොයන්න ඕන.

    එදා සුදුසුකම්වලට ව්‍යවහාර කරපු වචනය තමයි පාරමී ධර්ම සකස් කරගෙන තිබෙනවාද කියලයි. එහෙම බලනකොට එදා ඒ සුදුසුකම් සපුරා තිබූ සැරියුත්-මුගලන් මහ රහතන්වහන්සේලාට අග සව් තනතුරු පිරිනැමුවෙත් අද වගේ නවම් පුර පසලොස්වක පොහොය දිනක යැයි තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමියෝ පෙන්වා දුන්හ.

    සේතු කාරකා කියන්නෙ මාර්ග සංවර්ධනය. අග්‍රාමාත්‍යතුමා මේ රටේ මිනිස්සුන්ට කරදරයක් නැතිව එහා මෙහා යන්න මංමාවත් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම හික්ෂුන් වහන්සේලාගේ දෙමාපියන් වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළාම ඒක දිවා රෑ පිංසිදුවන ක්‍රියාවක් යැයි තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමියෝ පැවසූහ.

    කෙත්වතු උයන්වතු නිර්මාණය කිරීම, ජනගහනය වැඩි දියුණු කර ගැනීම, පැන් පොකුණු පානීය ජල පහසුකම් මහජනතාවට පමණක් නොව පුංචි සතා සිව්පාවුන්ට පවා ඇතිවන ආකාරයෙන් ක්‍රියාකිරීම, කැලෑවල තියෙන අවශ්‍යතාවය හරියට තේරුම් අරගෙන වැඩ කළාම මේ රටම සංවර්ධනය වෙනවා යැයි ද උන්වහන්සේ පැවසූහ.

    ජනාධිපතිතුමා සමඟ මේ රට නව මාවතකට ගන්න අගමැතිතුමා කටයුතු කරමින් සිටිනවා. ඒ කටයුතුවලට බාධක ඇතිවෙන්න පුළුවන්. බාධක අපේ බෝධිසත්වයාණන් වහන්සේටත් ඇතිවුණා. ඒ බාධක මර්දනය කරගෙන ඉදිරියට යාමේ ශක්තිය ඇති කර ගැනීමටත් බුදුන් වහන්සේගේ දහම් මග හේතුවෙනවා යැයි තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමියෝ අනුශාසනා කළහ.

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පැවති ධර්ම දේශනාව සැදැහැවතුන්ගේ සහභාගීත්වයකින් තොරව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ප්‍රමුඛ පවුලේ කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    අමාදම් සිසිලස ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ද එක්ව සිටියේය.

    Last modified on සිකුරාදා, 26 පෙබරවාරි 2021 20:56

    Latest News