හානිපූර්ණ කාර්යාලයේ වන්දි ලබාදීම ගැන අද හෙළි වූ දේ

දෙසැ 16, 2020

    පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූ සහ තුවාල ලැබූ පුද්ගලයින් සඳහා ලබාදුන් වන්දි මුදල් ඊට පෙර දිගන හා බේරුවල ප්‍රදේශවල ඇතිවූ නොසන්සුන්‍තාවලදී ලබා දුන් වන්දි මුදල් හා සැසඳීමේදී ඉතා අඩු බව හානිපූර්ණය සඳහා වූ කාර්‍යාලයේ වැඩබලන අධ්‍යක්ෂවරයා අද පිළිගත්තා.

    ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදීයී. එහිදී ඔහු හෙළිකළේ දිගන සිද්ධියේදී වන්දි ලබාදීමේ කටයුතුවලට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් බලපෑම් කළ බවයි.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අද කැඳවා තිබුණේ හානිපූර්ණය සඳහා වූ කාර්‍යාලයේ වැඩබලන අධ්‍යක්ෂ එස්. එම්. බදියුදීන් මහතායි.

    පාස්කු ඉරුදින දේවස්ථාන හා හෝටල් ඇතුළු ස්ථානවලදී එල්ලවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් ජීවිතක්ෂයට පත් වූ සහ ආබාධිත හෝ තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් ප්‍රදානය කෙරුණු ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම මෙහිදි ප්‍රශ්න කළා.

    එහිදී හානිපූර්ණ කාර්‍යාලයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් ඊට අදාළ තොරතුරු කොමිසමට ලබාදුන්නා.

    ඒ අනුව පාස්කු ඉරිදා බෝමබයක් පුපුරාගිය කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේදී ජීවිතක්ෂයට පත්වූ 108 දෙනෙකුටත්, කොච්චිකඩේ ශාන්ත අන්තෝනී සිද්ධස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් දිවි අහිමි වූ 50 දෙනෙකුට සහ මඩකලපුව සියෝන් පල්ලියට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය 30 දෙනෙකුට එක් අයෙකුට ලක්ෂ 10 බැඟින් ලබාදි තිබෙනවා.

    එමෙන්ම කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පුපුරා ගිය බෝම්බවලින් ජීවිතක්ෂයට පත්වූ ලාංකිකයන් 10 දෙනෙකුටත්, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රහාරයෙන් මියගිය 08 දෙනෙකුටත්, කිංග්ස්බරි හෝටලයේ ප්‍රහාරයෙන් මිය ගිය එක් අයෙකුට සහ දෙහිවල ට්‍රොපිකල් ඉන්හි පුපුරා ගිය බෝම්බයෙන් මිය ගිය දෙදෙනෙකුට ද ලක්ෂ 10 බැඟින් මුදල් ලබාදුන් බව සාක්ෂිකරු පෙන්වා දුන්නා.

    මීට අමතරව දෙමටගොඩ මහවිල උද්‍යාන නිවසේ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ තිදෙනාට සහ විවිධ ස්ථානවලදී මියගිය විදේශයකයන් නව දෙනෙකුටද එම වන්දි මුදල් ලබා දී ඇති අතර හදුනානොගත් විදේශිකයන්ගේ සිරුරු 34ක් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා අදාළ කටයුතු සිදුකෙරුණු බව සාක්ෂිකරු පැවසුවා.

    හානිපූර්ණ කාර්‍යාලයේ වැඩබලන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ ඒ අනුව මරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අයදුම් පත් 220ක් සඳහා රුපියල් මිලියන 220ක් සහ තුවාලකරුවන් 506 දෙනෙකුට රුපියල් මිලියන 81ක වන්දි මුදල් ලබාදුන් බවයි.

    ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා - අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා - " මේ ප්‍රහාරවලින් තුවාල ලැබූ අයට එක් අයෙකුට කොපමණ මුදලක් දෙන්නද තීරණය කළේ ?"

    එස්. එම්. බදියුදීන් - වැඩබලන අධ්‍යක්ෂ - හානිපූර්ණ කාර්‍යාලය - " කැබිනට් මණ්ඩලය තීරණය කළා එක් අයෙකුට උපරිමය ලක්ෂ 5ක් ලබාදෙන්න. නමුත් වෛද්‍ය වාර්තා අනුව ලක්ෂ 5ට අඩු මුදල් ලබාදීම් සිදුවුණා "

    ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා - අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා - " ඔබ ඉදිරිපත් කළ ලේඛණය අනුව පෙනීයනවා කටුවාපිටිය සිද්ධස්ථානයේ පිපිරීමෙන් තුවාල ලැබුවා 280ක්. ඉන් ලක්ෂ 5 හමුවුණේ 30 දෙනෙකුට පමණයි. සමහර අයට රුපියල් පනස් දහසයි හමුවුණේ. කොච්චිකඩේ සිද්ධස්ථානයේදි තුවාල ලැබුවා 102ක්. ඉන් ලක්ෂ 5 ලැබුණේ 13 දෙනෙකුට පමණයි. ඔබතුමා දන්නවද මේ අසරණ මිනිස්සුන්ට තිබුණේ ඉතා දරුණු තුවාල බව ?"

    එස්. එම්. බදියුදීන් - වැඩබලන අධ්‍යක්ෂ - හානිපූර්ණ කාර්‍යාලය - " දැකලා නම් නැහැ නමුත් ආරංචි අනුව දන්නවා "

    ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා - අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා - " සමහර අයට බරපතල ශල්‍යකර්ම කළා. මේ ලක්ෂ 5ක් ඇතිද ඒ මිනිස්සුන්ට ?"

    එස්. එම්. බදියුදීන් - වැඩබලන අධ්‍යක්ෂ - හානිපූර්ණ කාර්‍යාලය - " මඳිනම් තමයි. ඒත් කැබිනට් එකනේ තීරණය කළේ "

    ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා - අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා - " ඔබතුමා දන්නවාද මේ ශල්‍යකර්ම සඳහා සම්පූර්ණ වියදම දැරුවේ කතෝලික සභාවෙන් කියලා ?"

    එස්. එම්. බදියුදීන් - වැඩබලන අධ්‍යක්ෂ - හානිපූර්ණ කාර්‍යාලය - " ඒකනම් මම දන්නේ නැහැ "

    ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරිය - " පාස්කු ප්‍රහාරයට ඉහතදි දිගන සහ බේරුවල ප්‍රදේශවල සිද්ධිවලදී එක් මරණයකට රුපියල් ලක්ෂ 20ක් ගෙවා තිබෙනවා. පාස්කු ප්‍රහාරයේදී එක් මරණයකට ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ 10යි. මොකක්ද මේ වෙනස්කම ?"

    එස්. එම්. බදියුදීන් - වැඩබලන අධ්‍යක්ෂ - හානිපූර්ණ කාර්‍යාලය - "මේවා අපි නෙවෙයි තීරණය කළේ. දේශපාලන නායකයන් එකතුවෙලා කැබිනට් පේපර් හදලා අපිට තීරණය එවනවා. අපෙන් කිසිම අදහසක් විමසුවේ නැහැ. ඔය බේරුවල, දිගන සිද්ධිවෙලාවේ හානිපූර්ණය විෂය භාර වුණේ ඩී. එම්. ස්වාමීනාදන් මහතා. පාස්කු ප්‍රහාරය වෙලාවෙත් එතුමා නමුත් එතනදි ඒ කටයුතු සියල්ල සිදුවුණේ අගමැති කාර්‍යාලය විසින්. දිගන සිද්ධියේදී නුවර කච්චේරියට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ආවා. එතනට රවුෆ් හකීම්, ලක්ෂ්මන් කිරිඇල්ල සහ අනෙකුත් නුවර මන්ත්‍රීවරුන් සහභාගි වුණා. එතනදී තමයි ගණන් හිලව් තීරණය වුණේ. ඒ අය ගණන් වැඩි කරගත්තා එතනදි "

    ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු - " ඔය දිගන වගේ පාස්කු ප්‍රහාරය වෙලාවේ වන්දි මුදල් වැඩිකරගන්න දේශපාලකයන් කටයුතු කළේ නැත්ද ?"

    එස්. එම්. බදියුදීන් - වැඩබලන අධ්‍යක්ෂ - හානිපූර්ණ කාර්‍යාලය - " ඒක තමයි මිනිස්සුත් අපෙන් අහනවා ඒ අයට වැඩියෙන් ගෙවලා අපිට අඩුවෙන් ගෙව්වේ ඇයි කියලා. අපිට ඒවට උත්තර නැහැ. දේශපාලන අධිකාරිය තමයි විවිධාකාර අවස්ථාවල විවිධ ගණන් තීරණය කළේ "

    ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා - අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා - " ඔබතුමා පිළිගන්නවාද පාස්කු ප්‍රහාරයේදි මියගිය හා තුවාල වූ අයට දුන් මුදල අසාධාරණ බව ?"

    එස්. එම්. බදියුදීන් - වැඩබලන අධ්‍යක්ෂ - හානිපූර්ණ කාර්‍යාලය - " දිගන සහ බේරුවල එක්ක බලනකොට මේකේ අඩුයි කියලා හිතෙනවා "

    Latest News