ජනපති සහ පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවෙයි

ජන 18, 2019

    රාජ්‍ය සංචාරයත් සමග නව ප‍්‍රවේශයක් ලැබුණු පිලිපීන - ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වය තුළ පිලිපීනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ ගැටලූ විසඳමින් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. 

    පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටර්ට් මහතා විශේෂ ආරාධනය පරිදි පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ පිලිපීනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් අතර හමුවක් ඊයේ (17) පස්වරුවේ මැනිලානුවර දී පැවැත්වුණු අතර, එහිදී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.
    උසස් අධ්‍යාපනය ලබන සිසුන්, වෘත්තියවේදීන් ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල කටයුතු කරන පිරිස් මෙම හමුවට එක්ව සිටි අතර ඔවුන්ගේ ගැටලූ මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත්කෙරිණි.
    උසස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ ගැටලූ, වීසා ලබා ගැනීමේ දී මතුවන ගැටලූ ආදි කරුණු මෙහිදී ඉදිරිපත් කෙරුණු අතර,එම සියලූ ගැටලූ පිලිපීනයේ ශ‍්‍රී ලංකා තානාපතිනිය වෙත යොමු කරන ලෙස උපදෙස්දුන් ජනාධිපතිතුමා පිලිපීන රජය සමග සාකච්ඡා කර එම ගැටලූ විසදා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව සදහන් කළේය.
    ආර්ථික සංවර්ධනය සහ භෞතික සම්පත් සංවර්ධනය තුළ පිලිපීන රජය ලබා ඇති ප‍්‍රගතිය මෙහිදී ඇගැයීමට ලක් කළ ජනාධිපතිතුමා,මත්ද්‍රව්‍යජාවාරමට එරෙහිව පිලිපීන ජනාධිපතිවරයාගේ සහ රජයේ කැපවීමද අගය කළේය.
    එමෙන්ම අද ශ‍්‍රී ලංකාවට ද ප‍්‍රබල අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් තම මග පෙන්වීමෙන් කි‍්‍රයාත්මක පුළුල් වැඩසටහන පිළිබදව ද ජනාධිපතිතුමා පිලිපීනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් දැනුවත් කළේය.
    එහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේ එම වැඩපිළිවෙළ වඩා ශක්තිමත් කිරීමට මෙම ජනවාරි මැද සතියේ සිට තවත් සුවිශේෂි වැඩසටහනක් කි‍්‍රයාවට නැංවීමට සැලසුම් කර ඇති බවයි.
    එමෙන්ම තම පිලිපීන රාජ්‍ය සංචාරයේ දී දෙරට අතර ඇති කරගත් ද්වීපාර්ශ්වික එකඟතා පිළිබඳව ද ශ‍්‍රී ලාංකිකයන් දැනුවත් කළ ජනාධිපතිතුමා, එම එකඟතා සාර්ථක ලෙස ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට ඉහළම කැපවීමකින් කටයුතු කරන බව ද සඳහන් කළේය.

    Last modified on සිකුරාදා, 18 ජනවාරි 2019 14:23

    Latest News