රටට සෙත්පතා ආරම්භ වූ පිරිත් දේශනාව සඳහා අගමැතිතුමා එක්වෙයි

ඔක් 24, 2020

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රටවැසියාට සෙත් පතා දින 07ක් පුරා පවත්වනු ලබන රතන සූත්‍රය සඡ්ඡායනා කිරීමේ පිරිත් දේශනාව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර ක‌ර ගනිමින් ඊයේ දින ආරම්භ විය.

    පිරිත් දේශනාව සඳහා සහභාගී වූ අගමැතිතුමා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව පිරිත් දේශනාව ශ්‍රවණය කිරීම සඳහා එක්විය.

    කොවිඩ් - 19 වසංගතය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් මීට සමඟාමීව ඊයේ දින සිට දින 07 ක කාලයක් පුරා දිවයිනේ විහාරස්ථාන 200 කට අධික සංඛ්‍යාවක රතන සූත්‍රය දේශනා කිරීම ආරම්භ වූ බව නාරාහේන්පිට අභයාරාමාධිපති, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුලිකත්වයෙන් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව එය සංවිධාන කර තිබේ.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය හා ජන ජිවිතයට බලපා ඇති අනෙකුත් අර්බුද සමනය කිරීම සඳහා ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෙම රතන සුත්‍ර දේශනය පැවැත්වේ.

    මහා සංඝරත්නය, මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ විහාරස්ථ දායක දායිකාවන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    Latest News