ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම්ගේ සේවය අත්හිටුවයි

ජන 11, 2025

    ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

    එම තීරණය ගෙන ඇත්තේ, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා යි. ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඇතුළු නිලධාරින්ට ඔලිම්පික් කමිටුවේ ආචාරධර්ම කඩ කළ බවට දිගින් දිගටම චෝදනා එල්ල වුණා.‍ එම පසුබිම තුළ ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයාගේ ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ජාතික ඔලිම්පික් කමිටුව වෙත මීට පෙර දන්වා තිබුණා.

    ඒ අනුව, ක්‍රීඩා අමාත්‍යාංශය කළ විමර්ශන වාර්තාවක් පදනම් කරගනිමින්, ජාතික ඔලිම්පික් කිමිටු මහ ලේකම්, තහනමකට ලක්කර අභ්‍යන්තර විමර්ශනයක් සිදු කළ යුතු බවට, ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාරධර්ම කමිටුව විසින් ද නි‍ර්දේශ කරනු ලැබුවා. එහෙත්, ඊට නිසි ප්‍රතිචාරයක් දැක්වීමට ජාතික ඔලිම්පික් කමිටුව අපොහොසත් වූ අතර, ඒ අනුව, ඉකුත් නොවැම්බර් මාසයේ දී ජාත්‍යන්තර ඔලිම්පික් කිමිටුව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවට දන්වා තිබුණේ, මෙරට ආචාරධර්ම කමිටුවේ නිර්දේශ පරිදි ක්‍රියා කරන ලෙසයි. එසේ නොකළහොත්, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සිදු වන බවත්, ඔවුන් අදාළ ලිපිය මගින් දන්වා තිබුණා.

    එම ලිපිය නොසලකා හැරීම හේතුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කිමිටුව පසුගියදා තීරණය කළේ, මෙරට ඔලිම්පික් කමිටුවට ලබා‍ දෙන සියලු මුල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමටයි. මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන, වත්මන් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

    Latest News