කොවිඩ් සටනට ජපානයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 9.6 ක්

ඔක් 21, 2020

    ශ්‍රී ලංකා රජය ගෙනයන කලාපයේ වඩාත් ප්‍රශස්ත කොරෝනා මර්ධන මෙහෙයුම් සඳහා ජපන් ශ්‍රී ලංකා ඓතිහාසික මිතුදම සංකේතවත් කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 9.6 මුදලක් ලබාදෙන බවත්, ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ජපන් තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ඉදිරියට ද ලැබෙනු ඇති බවත්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති එච්.ඊ. අකිරා සුගියාමා මහතා පවසයි.

    තානාපතිවරයා මෙම අදහස් පළ කළේ, පසුගියදා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති නිල සාකච්ඡාවකට එක්වෙමින්.

    තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගනිමින් ගුණාත්මක හා ලාභදායි විදුලිබල සේවාවක් ලබාදීම තම අරමුණ බව පැවසූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, ජනාධිපතිතුමන් විසින් ලබාදී ඇති ඉලක්කය වන්නේ වසර 2030 වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි ජනනයෙන් 70%ක් හරිත හා පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගතයුතු බව යැයි ද වැඩිදුරටත් පැවසීය.

    ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ගෙනයන වත්මන් වැඩපිළිවෙල තමා අගය කරන බවත්, ශ්‍රී ලංකාවට එල්.එන්.ජී. බලාගාරයක් ලබාදීමටත්, එල්.එන්.ජී. සැපයීමටත් ජපාන රජයේ අවධානය යොමුවී ඇති බවත්, ජපාන තානාපති එච්.ඊ. අකිරා සුගියාමා මහතා පවසයි.

    ලාංකීය විදුලිබල ක්ෂේත්‍රය නව්‍යකරණය කිරීමේ ක්‍රියාන්විතයේදී ධනාත්මක ප්‍රවේශයකින් විදුලිබල සේවකයන් දිරිගැන්වීමට හා සුරැකීමට පියවර ගන්නා බව පැවසූ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඒ වෙනුවන් ලබාදෙන විශිෂ්ඨ තාක්ෂණික හා මූල්‍ය සහයෝගයට ලක් රජය වෙනුවෙන් ජපන් රජයටත් ජපන් ජනතාවටත් තම කෘතවේදීත්වය පලකරන බවද පැවසීය.

    මෙම අවස්ථාවට ජපාන රජයේ පළමු ලේකම් චිහාරු හේෂියායි සහ ජපාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම් කෙන්චි සකේයා යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.

    Latest News