අධිකරණයට අපහාස කිරීමේ රන්ජන්ගේ පැමිණිල්ල නොවැම්බර් 6

ඔක් 21, 2020

    අධිකරණයට අපහාස කලේ යැයි හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් නොවැම්බර් මස 06 වැනි දින යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    මෙම පැමිණිල්ල අද සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    මෙම පැමිණිල්ලට අදාළ සාක්ෂි මෙහෙයවීම සහ වාචික දේශන ඉදිරිපත් කිරීම මේ වනවිට අවසන් කර ඇති අතර නඩු විභාගයේ දී මතුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා එය අද දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබිණ.

    එහෙත් වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අද දින පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වන හෙයින් මෙම නඩුවේ ඉදිරි කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

    ඒ අනුව, මෙම පැමිණිල්ල නොවැම්බර් මස 6 වැනි දින කැඳවීමට අධිකරණය නියම කරයි.

    පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබේ.

    2017 වසරේ අගෝස්තු මස 21 වැනි දින කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබිණ.

    එම ප්‍රකාශය තුළින් රංජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය පළුදු කිරීමට ක්‍රියාකර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

    ඒ අනුව, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙස ද එම පැමිණිල්ල තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇත.

    Latest News