ජාතික ලැයිස්තු නම් කිරීමේදී පක්‍ෂ රැසක අර්බුද (වීඩියෝ)

අගෝ 09, 2020
  • ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කිරීමේදී පක්‍ෂ රැසක අර්බුද මතුව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    අර්බුද මතුව ඇති දේශපාලන පක්‍ෂ මේ වනතුරුත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා වන නම් ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත බාරදී නොමැත.

    තමිල් අරසු පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පුද්ගලයන් තිදෙනෙකුගේ නම් යෝජනා කෙරිණ. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී කේ. කෝඩීෂ්වරන්, ශෂිකලා රවිරාජ් හා කලෙයි අර්සන් යන මහත්ම මහත්මීන්ගේ නම් ඒ අතර වේ. මේ වනවිට තමිල් අරසු පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත් කලෙයි අරසන් මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිරිනැමීමට තීරණය කර ඇති බව. මේ පිළිබඳව මත ගණනාවක් පක්‍ෂ අභ්‍යන්තරයේ පවතින බව වාර්තාවේ.

    මේ අතර, සමගි ජන බලවේගයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 7 පත් කිරීමේදී පක්‍ෂ අභ්‍යන්තරයේ දැඩි අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ. පසුගිය සිකුරාදා පක්‍ෂ අභ්‍යන්තරයෙන් සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් කර තිබූ ජාතික ලැයිස්තුව මේ වනවිට ඉවත් කර ගෙන තිබේ.පක්‍ෂයේ සාමාජිකයෙකු හෝ නොවන පුද්ගලයෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස නම් කිරීම හේතුවෙන් අභ්‍යන්තර අර්බුදය තීව්‍ර වී ඇතැයි වාර්තාවේි.

    එමෙන්ම පලනි දිගම්බරම් හා මනෝ ගනේෂන් සහ රවුෆ් හකීම් යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් පක්‍ෂවලට සමගි ජන බලවේගයෙන් ලබාදෙන බවට ප්‍රතිඥා දුන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලබානොදීම හේතුවෙන් තවත් අර්බුදයක් හටගෙන තිබේ. සමගි ජන බලවේගයට මෙම මන්ත්‍රීධූර සංඛ්‍යාව හෝ ලැබුණේ සුළු ජාතික ඡන්ද හේතුවෙන් බව ඔවුන්ගේ අදහස. එබැවින් එම පක්‍ෂවලට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර හිමි නොවන්නේ නම්, පාර්ලිමේන්තුවේ ස්වාධීනව ක්‍රියා කිරීමේ හැකියාව සොයා බලමින් සිටින බව වාර්තාවේ. මේ පිලිබඳව හෙට තීන්දු කිරීමට නියමිතයි.

    අපේ ජනබල පක්‍ෂයට හිමිවූ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධූරය සඳහා පුද්ගලයෙකු නම් කිරීම බරපතල අර්බුදයක් දක්වා නිර්මාණය වී තිබේ. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මත දෙකක පිහිටා ක්‍රියාකිරීම අර්බුදයට හේතුවයි. පක්‍ෂයේ මහලේකම් හිමියන් මේ පිළිබඳව දරන්නේ වෙනස්ම මතයක්.

    Last modified on ඉරිදා, 09 අගෝස්තු 2020 19:15

    Latest News