ජන ජිවිතය යථාවත් කිරීමේදී පිළිපැදිය යුතු මාර්ගෝපදේශ

අප්‍රේ 19, 2020

    ජන ජිවිතය යථාවත් කිරීමේදී පිළිපැදිය යුතු මාර්ගෝපදේශ නියම කිරීමට රජය පියවර ගෙන තිබේ.

    කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය අතර සාමාන්‍ය ජන ජිවිතය යථා තත්වයට පත් කිරීම සඳහා දිස්ත්‍රික්ක විවෘත කිරීමේදී රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ ඊට ඇතුලත්. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් චක්‍රෙල්ඛයක් අද යොමු කරනු ලැබීය.

    රාජ්‍ය ආයතනවල දෛනික රාජකාරී කටයුතු යථා තත්වයට පත්කිරීමට රට තුළ පනවා ඇති සීමා කිරීම් ක්‍රමානුකූලව අදියර වශයෙන් ලිහිල් කිරීමට රජය තීරණය කරනු ලැබීය. එබැවින් භූගෝලීය වශයෙන් එසේ සීමාවන් ලිහිල් කෙරෙන ප්‍රදේශයන්හි රාජකාරී කරනු ලබන සියලුම රජයේ කාර්යාල මෙම මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බව චක්‍රලේඛයේ සඳහන්. ඒ අනුව, සේවා ස්ථානයේ කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු සෞඛ්‍ය ආරක්‍ෂණ පියවර දැඩිව අනුගමනය කළ යුතුය.

    ඒ අනුව සියළුම දිස්ත්‍රික්කවල පිහිටා ඇති සියළුම රාජ්‍ය ආයතන විසින් සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළඳීම, අත් සේදීම සහ අනෙකුත් ක්‍රියාපිළිවෙත් දැඩිව අනුගමනය කරන බවට සහතික කරගත යුතුය.

    සියලු සේවා ස්ථාන පිරිසිදු හා සනීපාරක්‍ෂක තත්වයෙන් පවත්වාගත යුතුය. විශේෂයෙන් පොදු ස්ථාන, කවුන්ටර, වැඩස්ථාන, ආහාර ගැනීම සඳහා භාවිත කරන කාමර සහ තේ කාමර, කාර්යාලීය ආපන ශාලා, වැසිකිලි සහ වෙනත් හවුලේ භාවිත කරන අවකාශයන් සැමවිටම පිරිසිදුව සහ සනීපාරක්‍ෂිතව නඩත්තු කළ යුතුය.

    විශේෂයෙන් ජනතාව නිතර පැමිණෙන සේවා ස්ථානයන්හි සබන් හා ජලය යොදා ගනිමින් සහ සනීපාරක්‍ෂක දියර අත්ලෙහි පිරිමැදීම මගින් දෑත් පිරිසිදු කිරීම සඳහා පහසුකම් සේවා ස්ථානවල මනාව පෙනෙන පරිදි ස්ථානයන්හි යොදවා සනීපාරක්‍ෂාව සඳහා ප්‍රවේශය ලබාදිය යුතුය. අනුගමනය කළ යුතු සෞඛ්‍යමය සහ සනීපාරක්‍ෂක මාර්ගෝපදේශ පිළිබඳ තොරතුරු දක්වන දැන්වීම්, සේවකයින් සහ ජනතාවගේ දැනගැනීම පිණිස සේවා ස්ථානයේ කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශනය කළ යුතුය.

    මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් දැනට සකස් කරනු ලැබ ඇති වැඩබිම් සහ කාර්යාල පරිශ්‍ර සෞඛ්‍යාරක්‍ෂණ මාර්ගෝපදේශ, ඉදිකිරීම් ව්‍යාපෘති ඉදිකිරීමේදී බලාත්මක කළ යුතුය. අත්‍යවශයෙන්ම සහභාගි විය යුතු අය අතර පමණක් කාර්යාල රැස්වීම් කළමනාකරණය කිරීමට හෝ අඩු පිරිසක් සහභාගි වන පරිදි කුඩා පරිමාණයේ රැස්වීම් සැලසුම් කිරීමට පියවර ගත යුතුය. සේවා ස්ථානයන්හි පිරිස් ඒකරාශිවීම අවම කිරීම සඳහා හැකි තරම් දුරට දුරස්ථව කාර්යාල සේවා සැපයීම් දිරිමත් කළ යුතුවේ. සියලුම දිස්ත්‍රික්කවල පාසල්, උසස් අධ්‍යාපන ආයතන සහ තෘතියික අධ්‍යාපන ආයතන තවදුරටත් වසා තැබෙන අතර දුරස්ථ අධ්‍යාපන ක්‍රම සහ දුරස්ථව වැඩි කිරීමේ ක්‍රමවේදයන් යටතේ සියලුම කටයුතු පවත්වාගෙන යා යුතුය.

    මෙම කාලය තුළ පිරිස් ඒකරාශී වන ආගමික කටයුතු, රැස්වීම් ආදිය සංවිධාන කිරීම නොකළ යුතුය. අත්‍යවශ්‍ය නොවන රාජකාරී ගමන් අත්හිටුවිය යුතුය. අත්‍යවශ්‍ය රාජකාරී ගමන් සිදු කිරීමට සිදුවන නිලධාරීන් සඳහා ඒ ඒ ප්‍රදේශවලට අදාලව පවතින විධිවිධානයන් අනුගමනය කරන ලෙසට උපදෙස් ලබාදිය යුතුය. යම් සේවකයෙකු කොවිඩ් 19 වෛරසයට අදාල සුළු රෝග ලක්‍ෂණ හෝ පෙන්නුම් කරන්නේ නම්, එවැනි පුද්ගලයන් නිවසේ රැඳී සිටිය යුතු බවට උපදෙස් ලබාදිය යුතුය. සියලු කාර්යාල සේවකයින් සේවා ස්ථානයේ දී පවත්වනු ලබන රැස්වීම් සඳහා සහභාගිවන පුද්ගලයන් සහ විවිධ සේවා සපයන අනෙකුත් පුද්ගලයන්ගේ නම් සහ ඇමතුම් තොරතුරු පවත්වාගෙන යා යුතුය.

    කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාල සූදානම් කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, පාරසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්‍ෂිතතාවය පිළිබඳ අධ්‍යක්‍ෂ විසින් සකසනු ලැබ ඇති මාර්ගෝපදේශයන් ද අනුගමනය කළ යුතුය. මේ සඳහා පහත පරිදි ප්‍රවේශ විය හැකිය. http://www.epid.gov.lk/web/images/pdf/Circulars/Corona virus/workplace-covid-guideline 02042020.pdf

    සෞඛ්‍ය සහ සනීපාරක්‍ෂක මාර්ගෝපදේශ අනුගමනය කිරීම සම්බන්ධයෙන් සේවා ස්ථානයේ තත්වය නිරන්තරයෙන් පසු විපරම් කිරීම සඳහා නිලධාරියෙකු නම් කළ යුතු අතර, ගැටළු සහගත අවස්ථා නිරාකරණයට කඩිනම් පියවර ගත යුතුය.

    අදියර වශයෙන් සේවකයින්ට නැවත සේවයට පැමිණීමේ යාන්ත්‍රණයක් සැලසුම් කර සකස් කළ යුතුය. ඒ අනුව මුල් අදියරේ දී සීමිත කාර්ය මණ්ඩලයකින් සාමාන්‍ය කාර්යාල කටයුතු නැවත ආරම්භ කළ යුතුය. එක් එක් ආයතන ප්‍රධානියා මෙම කාලසීමාව තුළ කාර්යාල කටයුතු පවත්වාගෙන යන ආකාරය පිළිබඳව නිශ්චිත උපදෙස් ලබාදිය යුතුවේ.

    කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත ප්‍රකාශය පත් කෙරෙන වෙනත් ආදායම් දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවල පිහිටා ඇති රජයේ ආයතනවල මුල් අදියරයේදී කාර්යාල කටයුතු ක්‍රියාත්මක කළ යුතු වන්නේ, චක්‍රීය පදනම මත සේවයට වාර්තා කරන 50%ක සේවක සංඛ්‍යාවක් පමණි. මේ සඳහා සේවකයින් තෝරා ගැනීම සේවක කාණ්ඩය, සේවා අවශ්‍යතාවය, නිපුණතා ධාරිතාව, සේවා ස්ථානයට ආසන්නවීම හෝ ඒහා සමාන නිර්නායක මත පදනම් විය යුතුය.

    කොළඹ,ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් මත අවදානම් දිස්ත්‍රික්ක ලෙස ප්‍රකාශයට පත් කෙරෙන දිස්ත්‍රික්කවල පිහිටා ඇති රජයේ කාර්යාල මුල් අදියරයේදී කාර්යාල කටයුතු ක්‍රියාත්මක කළ යුතු වන්නේ, චක්‍රීය පදනම මත සේවයට වාර්තා කරන 20%ක සේවක සංඛ්‍යාවක සහභාගිත්වයෙනි. සේවා ස්ථානවල සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී ඇති විය හැකි තදබදය අඩුකිරීම සඳහා වෙනම කාලසැසි දෙකක සේවා මුර යෙදවීම වැනි නම්‍යශිලී වැඩ වේලාවන් සකස් කරගැනීම ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි කළ යුතුය. සේවකයන්ගෙන් යම් ප්‍රමාණයක් සේවයට වාර්තා නොකළ ද රජයේ සේවාවන් අඛණ්ඩව සැපයීම තහවුරු කිරීම සඳහා පිළියම් යෙදිය යුතුවේ.

    සීමිත සේවකයන් පිරිසක් සේවයට වාර්තා කරන මෙම කාලපරිච්ජේදය තුළ සාමාන්‍ය යෙන් නිරන්තරයෙන් මහජන සේවා සපයන රජයේ කාර්යාල විසින් ජනතාවට සේවා ලබාදීම සඳහා විශේෂ යාන්ත්‍රණයන් හඳුන්වා දිය යුතුවේ. ආයතන ප්‍රධානීන්, සේවා ස්ථාන වෙත ජනතාව විශාල වශයෙන් ඒකරාශීවීම වැළැක්වීම සඳහා විවිධ වූ මහජන සේවාවන් සැපයීම සඳහා නම් කරන ලද දිනයන් හා වේලාවන් ලබාදිය හැකිය. එවැනි යාන්ත්‍රණයන් පිලිබඳ ජනමාධ්‍ය සහ වෙනත් සන්නිවේදන ක්‍රම මගින් ප්‍රමාණවත් ලෙස ජනතාව දැනුවත් කළ යුතුවේ. ඩිජිටල් ක්‍රමවේදයන් හරහා ජනතාවට සහ ව්‍යාපාරවලට සේවා සැපයීම සඳහා දැනට පවතින දුරස්ථ සේවා සැපයුම් යාන්ත්‍රණයන් ශක්තිමත් කළ යුතුවේ.

    තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනය සමඟ සාකච්ජා කර නව ඩිජිටන් යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතුය. ඩිජිටල් ක්‍රමවේද මගින් රජයේ සේවාවන් සැපයීම සඳහා ක්‍රමයෙන් සංක්‍රමණයවීම අතරතුර දී හැකිතාක් දුරට කෙටි පණිවුඩ, ජංගම යෙදවුම් සහ විද්්‍යුත් විද්්‍යුත් තැපෑල භාවිත කිරීමට ක්‍රියා කළ යුතුය. එදිනෙදා සාමාන්‍ය රාජකාරී කටයුතු නිවසේ සිට රාජකාරීව ඉටු කිරීමේ විධිවිධාන යටතේ අඛණ්ඩව සිදු කළ යුතුය.

    ඒ යටතේ, එක් එක් ආයතන ප්‍රධානියා විසින් නිවසේ සිට රාජකාරී ඉටු කිරීමේ විධිවිධාන හරහා සිදු කළ යුතු කාර්යයන්, එම කාර්යයන්ට යෙදවිය යුතු නිශ්චිත සේවකයින්, සේවකයන් විසින් සතිය තුළ සේවා ස්ථානයට වාර්තා කරන වාර ගණන, නිවසේ සිට රාජකාරී ඉටුකරන සේවකයින් වහාම සේවා ස්ථානයට නැවත කැඳවීම සඳහා වන ක්‍රියාමාර්ග ආදිය තීරණය කළ යුතුය. නිවසේ සිට රාජකාරී ඉටු කිරීමේදී සම්පූර්ණ කළ යුතු සියලුම කාර්යයන් සඳහා දෛනික ඉ ලක්කයන් නියම කළ යුතුවේ.

    නිවසේ සිට රාජකාරී ඉටු කිරීමේ යෙදී සිටින සියලුම සේවකයන්, ඇමතුම් දිනපොත මෙන්ම දිනපතා සිදුකරන රාජකාරී පිළිබඳ වාර්තාවක් අනිවාර්්‍යෙයන්ම පවත්වාගෙන යා යුතුය. මාර්ගගත ඉගෙනුම් සම්පත් සහ රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් වෙත යොමු කිරීමෙන් තම දරුවන්ට අඛණ්ඩව අධ්‍යාපනයට ප්‍රවේශය ඇති බව සහතික කිරීමට සියලුම සේවකයන්ට උපදෙස් දෙනු ලැබේ.

    ධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ නිපුණතා සංවර්ධන විෂයන් භාර අමාත්‍යාංශයන්හි මඟ පෙන්වීම යටතේ චැනල් අයි සහ නේත්‍රා රූපවාහිනී නාලිකා විසින් හෙට සිට සාමාන්‍ය අධ්‍යාපනය සඳහා අලුයම 4.00 සිට පස්වරු 9.00 දක්වා සහ උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය සඳහා රාත්‍රී 9.30 සිට මැදියම් රාත්‍රිය දක්වා අධ්‍යාපන වැඩසටහන් විකාශය කිරීම ආරම්භ වේ. මෙම කාල පරිච්ජේදය තුළ ගෘහස්ත අතිරේක ආහාර අවශ්‍යතා සඳහා වැදගත් වන ගෙවතු වගාවෙහි යෙදීමට කාලය වෙන් කරන ලෙස ද සියලුම සේවකයින්ට උපදෙස් දී තිබේ.

    Latest News