විපක්ෂ නායකවරු දෙදෙනෙක්

දෙසැ 19, 2018

    පාර්ලිමේන්තුවේ නීත්‍යානුකූල විපක්ෂ නායකයා තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. 

    පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් සම්බන්ධන් මහතා තවදුරටත් කියා සිටියේ, මේ වන විට පාර්ලිමේන්තුව තුල විපක්ෂ නායකයින් දෙදෙනෙකු සිටින අතර එයින් නීත්‍යානුකූල විපක්ෂ නායක තමා බවයි. ආර්. සම්බන්ධන් මහතා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි අතර 2015 සැප්තැම්බර් මස 15 වැනි දා ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙසින් පත්කරනු ලැබිණ. ඒ අනූව, ඔහු කියා සිටියේ එම අවස්ථාව වන විට පාර්ලිමේන්තුවේ සිටි දෙවැනි විශාලතම පක්ෂය තම පක්ෂය බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටවනු ලැබිණ.

    ඒ අනූව සන්ධානයෙන් ඉවත්ව ගිය පිරිස් විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටිය ද මේ දක්වා පාර්ලිමේන්තුවේ දෙවැනි බහුතරය හිමි මන්ත්‍රීන් සහිත පක්ෂය තම පක්ෂය බව ඔහු කියා සිටියේය. මේ වන විටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නව රජය සමඟ එක්ව සිටින බව ද ඔහු පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. මහින්ද රාජපක්ෂ මහතා පොදු ජන එක්සත් පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති බවත්, ඒ අනූව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙකු නොවන බවයි, ආර්.සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ.

    නොබෙඳුන රටක් තුල ජීවත්වීමේ අධිෂ්ඨානය ඇතිව දේශපාලන ක්‍රියාකාරීත්වය ගෙනයාම තම පක්ෂයේ අරමුණ බව, ඔහු පෙන්වා දුනි. එසේ වුවද, මේ වන විට සුළු කණ්ඩායමක් විසින් රට තුල බහුතර වාදය මතුකරමින් එම මාවත දුරස්කරමින් සිටින බව ද ඔහු අවධාරණය කළේය.

    මෙහිදී අඳහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙසේ පැවසී ය.

     පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා - පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගත් බව පුවත් වාර්තා තිබෙනවා.විශේෂ කාරක සභාවක් ඉල්ලනවා මේ ගැන සොයා බලන්න කියලා.

     පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා - කතානායකතුමා මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පිළිගෙන අවසන්.

    සභානායක මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ඔබ තුළ පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තාද? මහින්ද රාජපක්ෂ,නාමල් රාජපක්ෂ ගත්තේ නැද්ද?

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා
    පොහොට්ටුවේ පාක්ෂිකයන් රවටන්න එපා. සාමාජිකත්වය ගන්නවා පින්තූර තිබෙනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා - අගමැතිවරු දෙන්නෙක් හිටියා. පාර්ලිමේන්තුවේ ඡන්දයක් තිබුණා. දැන් විපක්ෂ නායකවරු දෙන්නෙක් ඉන්නවා කියලා අභියෝගයක් ලක් කළා. මෙය බරපතල ප්‍රශ්නයක්.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අශූ මාරසිංහ මහතා- පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම උල්ලංඝණය වෙනවා.

     
    Last modified on බදාදා, 19 දෙසැම්බර් 2018 17:19

    Latest News