රෝහල් අධ්‍යක්ෂවරු 24 දෙනෙකු කොළඹට

මාර් 22, 2020

    දැනට දිවයින පුරා පැතිරයමින් පවතින කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීමට ඍජුව සම්බන්ධව කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂවරු 24 දෙනෙකු සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අද දින කොළඹට කැඳවන ලදී.

    මෙම අධ්‍යක්ෂවරුන් කොළඹ නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රවණාගාරයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

    සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ ඉදිරි දින කිහිපයේදී මෙම වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රෝහල් සේවා පවත්වාගෙන යාම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහායි.

    විශේෂයෙන් මෙම රෝහල් වලට පැමිණෙන ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට සහ ‌සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට මුහුණ දීමට සිදුවන ගැටලු වලට අවශ්‍ය විසදුම් මෙම සාකච්ඡාවේදී ලබා දෙන ලදී.

    ක්ෂණිකව ගතයුතු ක්‍රියාමාර්ග සහ රෝග පාලනයට ගතයුතු නිර්ණායකයන් පිළිබදවද රෝහල් අධ්‍යක්ෂකවරු දැනුවත් කිරීමද මෙහිදී සිදු කරන ලදී.

    රෝගී තත්වය විනිශ්චය කිරීම සඳහා PCR පරීක්ෂණය එම රෝහල් වලම සිදුකරගැනීමට අවශ්‍ය යන්ත්‍ර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නියෝග කරන ලදී.

    එමෙන්ම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සදහා ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධවද ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

    Latest News