නව රජයේ බදු සහන රැසක් අද සිට

ජන 01, 2020

    නව රජයේ බදු සහන රැසක් අද සිට ක්‍රියාත්මකයි.

    ජනතාවට සහන සැලසීම සඳහා රජය, පළමු කැබිනට් රැස්වීමේදීම සහන ලබාදීමට ප්‍රතිපත්තිමය එකඟතාව පළ කළේය. රජයේ මංගල සහන පැකේජයෙන් සෘජු බදු සහන ලැබී තිබේ. ඒ අනුව, මසකට රුපියල් ලක්‍ෂයකට වඩා වැඩි ආදායමක් ලැබූවන් උපයන විට බද්දෙන් නිදහස් කෙරේ. වැඩිවන සෑම ලක්‍ෂ දෙකහමාරක ආදායම් සඳහා 6% බැගින් උපයන විට ගෙවීමේ බද්ද ඉහළ නැංවේ.

    රුපියල් ලක්‍ෂයකට වැඩි ආදායම් සහිත ලිපිගොනු හය ලක්‍ෂ හැට පන්දහසක් පමණ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ විවෘත වී තිබෙන අතර, ඉන් විශාල පිරිසක් මෙම බද්දෙන් නිදහස් වේ. එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ව්‍යාපාරවලින් අයකිරීම් සීමාව කාර්තුවක් සඳහා රුපියල් මිලියන 75ක් දක්වා අද සිට ඉහළ දමා තිබේ. ඒ අනුව, එකතු කළ අගය මත බදු ගෙවීම සඳහා වාර්ෂික සැපයුම් සීමාව රුපියල් මිලියන 12 සිට රුපියල් මිලියන 300 දක්වා වැඩිවේ. 5%ක රඳවා ගැනීමේ බද්ද අහෝසි වේ. ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හැර අනෙකුත් සියලු බැංකු ගිණුම්වල පොලිය සඳහා රඳවා ගැනීමේ බද්දක් අය කිරීම මේ දක්වා ක්‍රියාත්මක වුවත්, මින් ඉදිරියට රඳවා ගැනීමේ බද්ද අය කෙරෙන්නේ පොලී ආදායම රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් වන සියලු බැංකු ගිණුම් සඳහා පමණි. ඒ අනුව ස්ථාවර ඉතිරි කිරීමේ, ළමා ඉතිරි කිරීමේ හා ජ්‍යෙෂ්ඨ පුරවැසි තැම්පත් ගිණුම් දෙලක්‍ෂ පනස් දහසක් දක්වා මාසිකව කිසිදු රැඳවුම් බද්දක් ගෙවීමට අවශ්‍ය වන්නේ නැහැ.

    ජනතාවට සහන සැලසීම සඳහා මෙම බදු සහන අද සිට ක්‍රියාත්මක වන අතර, දැනට ක්‍රියාත්මක වන බදු සහන ද ඒ අතර වේ. වැඩිවන සියලුම භාණ්ඩ හා සේවා මත පනවා තිබූ 15%ක වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ 2%ක වැට් බද්ද, එකතු වී තිබූ 17%ක වැට් බද්ද 8% දක්වා අඩු කෙරිණ. විදේශ විනිමය සියලු බදුවලින් නිදහස්. විදුලි බලයෙන් ධාවනය නොවන සියලු රථවාහන, ත්‍රීරෝද රථ සහ යතුරු පැදි සඳහා කාබන් බද්ද අද සිට ක්‍රියාත්මකයි. නව කාබන් බද්දට අනුව මගී බස් රථ සඳහා රුපියල් දහසේ සිට රුපියල් 3,000 දක්වා මුදලක් අයකිරීමට නියමිතයි. කෘෂිකාර්මික, ධීවර, පශු සම්පත් යන ක්‍ෂේත්‍ර ආදායම් බද්දෙන් නිදහස්. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ආදායම් බද්ද 28% සිට 14% දක්වා පහළ දමා තිබේ. ආගමික ස්ථාන ආදායම් බදුවලින් නිදහස්. තොරතුරු තාක්‍ෂණය ආදායම් බද්දෙන් නිදහස් කෙරිණ. ජාතිය ගොඩනැගීමේ බද්ද සහ ආර්ථික සේවා ගාස්තු අහෝසි කොට තිබේ.

    Latest News