රාජ්‍ය ව්‍යාපාර ගොඩනැංවීමට නව වැඩපිළිවෙළක්

ජූනි 11, 2019

    රජය සතු ව්‍යාපාරවල කාර්ය සාධනය ඉහළ නැංවීමේ අරමුණෙන් තෝරාගත් ව්‍යාපාර 10ක් සමඟ සාමූහික අභිලාශ ප්‍රකාශ අත්සන් කිරීම ඊයේ සවස සිදු කෙරිණ.

    ඒ, අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්, මුදල් අමාත්‍යාංශයේ “රන්දොර“ ශ්‍රවණාගාරයේදී. මෙම සාමූහික අභිලාශ ප්‍රකාශ සංකල්පය 2017 වසරේදී හඳුන්වා දෙනු ලැබුවේ, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින්. රජය සතු ව්‍යාපාරවල කාර්ය සාධනය ඉහළ නැංවීම අරමුණයි. ඒ යටතේ, ව්‍යාපාර 424ක් අතුරින් 54ක් ක්‍රමෝපායිකව වැදගත් වාණිජ ව්‍යවසායකයින් ලෙස හඳුනාගෙන තිබේ. ක්‍රමෝපායික ලෙස වැදගත් ආයතන 10ක් ව්‍යාපාරික වශයෙන් ඵලදායි තත්වයට පත් කිරීමේ අරමුණෙන්, වැඩසටහන ක්‍රියාත්මකයි.

    මුදල් අමාත්‍යාංශයේ ලේකම්, අදාළ රේඛීය අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙනුවෙන් එම ව්‍යාපාරවල සභාපති විසින් ඊට අත්සන් තබනු ලැබීය. දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීමෙන් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා එම රාජ්‍ය ආයතන වෙත සාධනීය ලෙස දායකවීමට එමඟින් හැකිවනු ඇති බව, මුදල් අමාත්‍යාංශය පවසයි. එහිදී අදහස් ප්‍රකාශ කළ අමාත්‍ය මංගල සමරවීර මහතා....

    “සමහර ආයතන දිගින් දිගටම මහජන මුදල් පාඩු කරන තත්වයන් හමුවේ ඒවා මහජන මුදලින් නඩත්තු කරන්නේ ඇයි-දැයි කියන ප්‍රශ්නයක් අපෙන් අහනවා. ඇත්තෙන්ම මාත් පෞද්ගලිකව හිතනවා රටේ සංවර්ධනයට වගේම සුබසාධනයට යොදා ගන්න පුලුවන් විශාල මුදලක් මේ ආයතන කිහිපය වෙනුවෙන් නාස්ති කරන්නේ කියලා. සමහර ආයතන විශාල මහජන සේවාවක් ඉටුකරන අත්‍යවශ්‍ය සේවාවක් සපයන බව ඇත්ත.

    නමුත් අපි ආදායම් සහ වියදම් අතර පරතරය බැලුවොත් අතිවිශාල මුදලක් පාඩුවෙන සංස්ථා සහ සමාගම් තියෙනවා. ජනතාවගේ සුබසාධනය, යටිතල පහසුකම් වැනි අංශවලට ආයෝජනය කළ හැකි මුදල් සමහර පාඩුලබන ආයතන සඳහා නඩත්තු කරන්න රජයට සිදුවෙලා තියෙනවා. මෙවැනි බරක් දිගින්, දිගටම දරාගැනිමට කිසිම රජයකට හැකියාවක් නැහැ. ඒක නිසා තමයි රාජ්‍ය වාණිජ්‍ය ආයතන පාඩු අවම කරගනිමින් මහජන මුදල් ඉතිරි කරමින් වඩාත් කාර්යක්‍ෂම සහ මහජන හිතකාමී සේවයක් සලසන ආකාරයෙන් ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනිමට අපි උත්සාහ දරන්නේ. මෙතනදී අදාළ රේඛීය අමාත්‍යාංශවලටත්, ඒ ආයතනවල සභාපතිවරයා ඇතුලු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ටත් විශාල වගකීමක් ඒ සම්බන්ධයෙන් පැවරිලා තියෙනවා“. යැයි අමාත්‍යවරයා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 11 ජූනි 2019 20:21

    Latest News