අගමැති-විදෙස් තානාපතිවරු හා නියෝජිතයින් අතර සාකච්ජාවක්

අප්‍රේ 22, 2019

    රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදෙස් තානාපතිවරු හා නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (22) සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරවීම් සහ රටේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින්, රටවල් 46කට අධික තානාපතිවරු සහ විදෙස් නියෝජිතයින් සමග පුරා පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්වූහ.

    බෝම්බ පිපිරවීමේ සිද්ධියත් සමග මෙරටට සංචාරකයින් පැමිණීමේ අවදානමක් උද්ගත විය හැකි බැවින් එය යථා තත්ත්වයට පත් කර, රටේ ආර්ථිකය ශක්තිමත් කරගනිමින් රට ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හමුදාවට බලය පැවරීමට සහ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පැය 24 කට වැඩි කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පමණක් සීමා වූ හදිසි නීති රෙගුලාසි දෙකක් පැනවීමට නියමිත බව පෙන්වා දුන්නේය.

    ආගමික සිද්ධස්ථාන සහ සංචාරක හෝටල් මූලික කර ගනිමින් එල්ල වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය සඳහා ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතා තිබේ නම් එය පරාජය කිරීම සඳහා ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගැනීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

    මෙම ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලබා සිටින විදේශිකයන් පිළිබඳ තොරතුරු තානාපතිවරුන් වෙත ලබාදුන් අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඔවුන් වෙත ලබාදෙනු ඇති බව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    තිලක් මාරපන, සාගල රත්නායක යන අමාත්‍යවරුන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරු ඇතුලූ පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

    Latest News