අළුත් අවුරුද්දට විශේෂ පෞද්ගලික බස් සේවා

අප්‍රේ 10, 2019

    සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවගේ ගමන් පහසුව සඳහා විශේෂ අවුරුදු පෞද්ගලික බස් සේවා අද (09) සිට 21 දක්වා ක්‍රියාත්මකයි.

    බස්නාහිර පළාත් මාර්ගස්ථ මග ප්‍රවාහන අධිකාරියේ පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි සභාපති දේශබන්දු තුසිත කුලරත්න මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

    ජාතික ගමනාගමන කොම්ෂන් සභාව සමග ඒකාබද්ධව පිටකොටුව බැස්ටියන් මාවත, කඩුවෙල, කටුනායක ඇවරිවත්ත, කඩවත හා පානදුර යන බස් නැවතුම් පළවල සිට දුර සේවා හා බස්නාහිර පළාත තුළ මෙම අවුරුදු සේවා ක්‍රියාත්මක කෙරේ.

    ජාතික ගමනාගමන කොම්ෂන් සභාව ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන දුර සේවා සඳහා අතිරේක බස් රථ 780 ක් පමණ යොදවා ඇති අතර බස්නාහිර පළාතේ බස් නැවතුම්පළ 56 කේන්ද්‍ර කොට ගෙන පළාත තුළ ක්‍රියාත්මක කරන අවුරුදු සේවා සදහා බස් රථ 6200ක් පමණ මගී අවශ්‍යතාවය මත යොදවා ඇත.

    අවුරුදු සේවා ක්‍රියාත්මක කරන අප්‍රේල් 9 සිට 21දක්වා දිනවල වේලා සටහන් නිලධාරින්, මාර්ග පරික්ෂකවරු ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත් ‍ මේ කාලය තුළ දෛනික කාලසටහන් මගී අවශ්‍යතාවය මත වෙනස් කර ඇති අතර විශේෂ චාරිකා බලපත්‍ර අවලංගු කර තිබේ.

    බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන විශේෂ අවුරුදු සේවාවලදී වැඩිපුර ගාස්තු අය කරන බස් රථ පිළිබදව හා අනෙකුත් මගී පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා පැය 24 පුරා 0112860860 යන දුරකථන අංකය විවෘතව පවතින බව පැවසූ සභාපති තුසිත කුලරත්න මහතා සියළු බස් රථ පරික්ෂා කිරීම සදහා මාර්ග පරික්ෂක නිලධාරීන් යොදවා ඇතැයි ද සඳහන් කර තිබේ.

    Latest News