මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ සංශෝධන අද පාර්ලිමේන්තුවට

පෙබ 08, 2022

    පාර්ලිමේන්තුව අද (08) සිට ලබන සිකුරාදා දක්වා රැස්වෙයි. අද දිනයේ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ නියෝග දෙකක් හා ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන අරමුදල් පනත් කෙටුම්පත දෙවනවර කියවීම සිදුකෙරෙනු ඇති.

    මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් සංශෝධන දෙකක් අද ඉදිරිපත් කිරීමට නියමිත බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසී ය.

    ඒ අනුව එම අරමුදලේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ අගවිනිසුරුවරයා වෙනුවට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු හෝ විශ්‍රාමික විගණකාධිපතිවරයකු පත් කිරීමට නියමිතයි.

    එමෙන්ම එම අරමුදලේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ විෂයභාර අමාත්‍යවරයා වෙනුවට ඔහු පත් කරන නියෝජිතයෙකු එම සාමාජික ධුරය දැරීම සඳහා වන සංශෝධනයක් ද අද දින ඉදිරිපත් කරන සංශෝධන අතරට ඇතුළත් වේ.

    හෙට (09) සහ අනිද්දා (10) යන දෙදින තුළ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත, පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත, සිවිල් නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම, පළාත් සභා මුද්දර ගාස්තු මාරු කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ 1969 අංක 01 දරණ ආනයන සහ අපනයන පාලන පනත යටතේ රෙගුලාසි ද විවාද කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

    Latest News