මේ දිනවල දරුවන් අතර Hand-foot-and-mouth disease

අප්‍රේ 30, 2021

    මේ දිනවල කොවිඩ් 19 වෛරසය ඇතුළු තව රෝග කිහිපයක් දරුවන් අතර දැකගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවා.

    දීපාල් පෙරේරා මහතා මේ බව සඳහන් කළේ අද (30) මාධ්‍ය වෙත ඒ පිළිබඳව අදහස් දක්වමින්.

    ඩෙංගු රෝගය මෙන්ම වෛරස් උණ රෝගය මෙන්ම විශේෂයෙන් මෙවරත් ''හෑන්ඩ් ෆුට් මවුත් ඩිසීස්'' (Hand-foot-and-mouth disease) රෝගය බහුලව දැක ගත හැකි බවයි විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ.

    ''හෑන්ඩ් ෆුට් මවුත් ඩිසීස්'' මෙම රෝගය සෑම කාලයකම පාහේ දැක ගත හැකි රෝගී තත්ත්වයක් වන අතර මාස 06ට වැඩි සහ වයස අවුරුදු 05ත් 06ත් අතර දරුවන අතර දැක ගත හැකි බවත් අත්වල, කට වටේ ,කට ඇතුලේ, කකුල්වල මෙන්ම තට්ටම්වල රතු ලප දැක ගත හැකි බවත් දින දෙකකින් පමණ උණ තත්ත්වය පහව ගියද දින 07ක් 10 වගේ කාලයක් රතු ලප තත්ත්වය දැක ගත හැකි බව ගමගේ මහතා කියා සිටියා.

    වයස අවුරුදු 10 දක්වා දරුවන්ට මෙය ඇති විය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.

    ''මෙහිදී ඇගපත තෙහෙට්ටුව, කෑම අරුචිය, දැවිල්ල වැනි තත්ත්වයන් දැක ගත හැකි අතර කෑම අරුචිය නිසා විජලනය තත්ත්වයට දරුවන් පත් විය හැකියි. විශේෂයෙන් දරුවෙකුගෙන් දරුවෙකුට මෙම රෝගය ඉතා ඉක්මණින් බෝ වීමේ හැකියාව පවතින නිසා මෙම රෝගය සහිත දරුවෙක් අනෙකුත් දරුවන්ගෙන් වෙන්කර තබා ගත යුතුවෙනවා. දියරමය ආහාර ලබා දීම මෙන්ම පැරසිටමෝල් නිසි මාත්‍රාවට පමණයි ලබා දිය යුතු වෙනවා. මෙම රෝග තත්ත්වය සුව වීමෙන් පසු නියපොතු හැලීමේ තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. නමුත් මේ ගැන බිය විය යුතු නැහැ. ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. දරුවන් හොඳින් පිරිසිදුව තබා ගත යුතු වෙනවා.

    කාලයෙන් කාලයට මේ රෝගය ලොව හැම තැනම පාහේ දකින්නට තිබෙනවා. රෝගය ආරම්භයේදීම මෙලෙස දැනුවත් කරන්නේ මෙය කොවිඩ් රෝගය නොවෙයි. නමුත් දින 03ක් යන තෙක් උණ පැවතුණොත් අපි පරීක්ෂා කරනවා රෝගී තත්ත්වය ඩෙංගු ද නැද්ද කියලා බලන්න. මෙම රෝගය තිබෙනවා නම් වෙන්කර තබා ගැනීම මෙන්ම විවේකීව තබාගැනීම අත්‍යවශ්‍යයි. මාස 06ක් පමණ යනතුරු මව් කිරි දෙන නිසා එම කාලය තුළ මෙය දරුවන්ට වැළඳෙන්නේ නැහැ. කොහොම වුණත් මේ ලෙඩ රෝග දරුවන්ට ගෙනියන්නේ වැඩිහිටියන්. කොවිඩ් තත්ත්වයේදී වගේම මෙහිදීත් අත් පිරිසිදුව තබා ගැනීම, දුරස්ථභාවය, මුව ආවරණ පැළදීම නිසි ලෙස කරන්න. අත් පිරිසිදුව තබා ගන්නවා කියන්නේ ගොඩක් වෛරස් රෝගවලින් මිදෙන්න පුළුවන්.''

    වර්තමාන කොවිඩ් තත්ත්වය ගැනද මෙහිදී දීපාල් පෙරේරා මහතා අදහස් ප්‍රකාශ කළා.

    ''මේ වනවිට පැතිර යමින් තිබෙන කොවිඩ් 19 වෛරසය තරුණයින් හා දරුවන්ට බෝ වීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ නිසා වැඩිහිටියෝ ලෙස ඒ ගැන කල්පනාවෙන් කටයුතු කරන්න. නිවසේ ඉන්න අහිංසක දරුවන් ආරක්ෂා කරගැනීමේ වගකීමක් තිබෙනවා. නිවසේ ඉන්න දරුවන්ට රෝගය ගෙනියන්නේ වැඩිහිටියන්. එම නිසා කාර්යාලවල වැඩකරද්දී,ගමනාගමනයේදී කල්පනාකාරී වෙන්න. සෞඛ්‍ය උපදෙස් අනුවම කටයුතු කරන්න මේ වෙලාවේ දරුවන් ආරක්ෂා කරගැනීම වැඩිහිටියන්ගේ වගකීමක්.''

    Latest News