එඩ්වින් ආරියදාස ශුරින් අද දැයෙන් සමුගනියි

ජන 25, 2021

    අපේ රටේ මාධ්‍යකරුවන් සිය ගණනකගේ මුල් ගුරුවරයා විදිහට සැළකෙන අභාවප්‍රාප්ත කලාකීර්ති එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් අද සිදුකිරීමට නියමිතයි.

    ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා මේවනවිට තැන්පත් කර ඇත්තේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකයි. 

    1922 වසරේ දෙසැම්බර් 3 වනදා උණවටුනේදී උපත ලැබූ විජේතුංග කරුණාරත්න එඩ්වින් ආරියදාස ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.

    කොළඹ විශ්වවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබූ ඒ මහතා ලේක් හවුස් ආයතනයට සම්බන්ධ වන්නේ 1949 වසරේදීයි.

    ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නව තාක්ෂණික වචනවලට සිංහල වචන ගොඩනැගීමේදී පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ එඩ්වින් ආරියදාසයන් අන්තර්ජාලයල සජීවීකරණය ආදී වචන මෙරට සමාජයට හුරුකළා.

    මෙරට ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු, ගුරුවරයෙකු මෙන්ම වියතෙකු වූ එඩ්වින් ආරියදාසයන් ශ්‍රී ලාංකේය සමාජයට සිදුකළ මෙහෙය හේතුවෙන් ගරු සම්මාන කිහිපයක්ම ලැබී තිබෙනවා.

    අභාවප්‍රාප්ත කලාශූරී,කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කරන ලද අනුපමේය මෙහෙවර අගයමින් ඒ මහතාගේ අවමංගල්‍ය කටයුතු සඳහා වන මූලික අනුග්‍රහය ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදීමට පියවර ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් වන සියලු කටයුතු උපරිමයෙන් ඉටු කරන ලෙසට ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතාට උපදෙස් ලබා දී ඇත.

    මෙම ශෝකජනක සිද්ධිය සැලවීමත් සමග ඒ සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙවැනි කීර්තිමත් මාධ්‍ය ආචාර්යවරුන් හා මාධ්‍යවේදීන්ට කළ යුතු උපරිම ගෞරවය ලබා දිය යුතු බැවින් එහි අවමංගල්‍ය කටයුතු සඳහා වන මූලික අනුග්‍රහය අමාත්‍යාංශය මගින් ලබාදීමට උපදෙස් ලබා දුන්නේය.

    එමෙන්ම මෙයට සති කිහිපයකට පෙර එඩ්වින් ආරියදාස මහතාගේ 98 වැනි ඡන්ම දිනයේදී ඒ මහතාගේ නිවසටම ගොස් දුක සැප විමසා සුබ පැතීමට හැකිවීම තමා ලද භාග්‍යයක් බව අමාත්‍යවරයා සිහිපත් කරයි.

    විශේෂයෙන් මෙවැනි කීර්තිමත් මෙන්ම රටට එලදායී මෙහෙවරක නිරත වූ මාධ්‍යවේදීන් හට යම් අසීරු අවස්ථාවන්හි දී විශේෂ අනුග්‍රහයක් ලබාදීම සම්බන්ධයෙන් වන ස්ථීරසාර වැඩපිළිවෙළක් අමාත්‍යාංශය මගින් ඉදිරියේ දී සැකසීමට අවධානය යොමුව ඇතැයි ද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.

    Last modified on සදුදා, 25 ජනවාරි 2021 10:39

    Latest News