මොරගහහේන වෙඩි හුවමාරුවෙන් මිය ගිය

අප්‍රේ 23, 2024

    ‍මොරගහහේන ප්‍රදේශයේ දී පොලිසිය හා සැකකරුවන් දෙදෙනෙකු අතර ඇති වූ වෙඩි හුවමාරුවකදී සැකකරුවන් දෙදෙනා මියගොස් තිබෙනවා. වෙඩි හුවමාරුව සිදු වූයේ අද අලුයම් කාලයේ දී.

    අද අලුයම මීගොඩ පොලිස් වසමේ බෙරුකැටිය හන්දිය අසල මාර්ග බාධක රාජකාරියේ ‍යේදී සිටි නිලධාරින් විසින් දාම්පේ ‍සිට පැමිණි ත්‍රීරෝද රථයක් නැවැත්වීමට සංඥා කර තිබෙනවා.

    එහිදී අණ නොතකා පොලිසිය දෙසට වෙඩි  තැබීමක් සිදු කර ත්‍රී රෝද රථය මොරගහහේන දෙසට ගමන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවට ‍පොලිස්ථාන දැනුවත් කිරීමට  පියවර  ගත්තා.

    එම පණිවුඩය මොරගහහේන පොලිස් වසමේ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාස නිලධාරින් කණ්ඩායමකටත් ලැබී ඇති බවයි, වාර්තා වන්නේ. ඒ අනුව ක්‍රියාත්මක වූ පලා යමින් සිටි ත්‍රීරෝද රථය නැවැත්වීමට සංඥා කළ ද, නොනවත්වා පලා ගොස් තිබෙනවා.

    පොලිස් කණ්ඩායම ත්‍රී රෝද රථය  පසුපස ලුහු  බැද ඇති අතර, එහිදී ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇති බවයි, පොලිසිය ප්‍රකාශ කළේ. එම අවස්ථාවේ ත්‍රී රෝද රථයේ සිටි පුද්ගලයෙකු පොලිස් ජිප් රථය දෙසට වෙඩි තැබීමක්  සිදු කළ  බව, පොලිසිය පවසනවා. 

     

    එහිදී පොලිස් නිලධාරින්ද ත්‍රී රෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනාට වෙඩි තබා තිබෙනවා. වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා  හොරණ රෝහලට අතුළත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි, පොලිසිය  ප්‍රකාශ කළේ. ‍

    මෙම වෙඩි  වැදීමෙන් මිය ගොස් ඇති එක් අයෙක් වන්නේ, වයස අවුදුරු 36 ක් වූ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සූරියආරච්චිලාගේ ඉමේෂ් ධනුෂක දර්ශන යන අයයි.

    ඔහු 2010 සිට 2023 දක්වා දේපල සොරකම් කිරීම් ඇතුළු වැරදි රැසකට සම්බන්ධ පුද්ගල‍යෙක් වන අතර, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස ලේඛනගත වී සිටි පුද්ගලයෙක්. මේ අතර, ඔහු යුද හමුදාවෙන් පලා ගිය සෙබලෙකු බවට ද අනාවරණය වී තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්  සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි, පොලිසිය පැවසුවේ.

    පොලිස් වෙඩි තැබිමෙන් මියගොස් ඇති‍ අනෙක් පුද්ගලයා තණමල්විල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සුරාජ් ප්රබෝධ ආදිහෙට්ටි නැමති අයෙක්. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඔහුද අවස්ථා කිහිපයකදී පොලිස් අත්අඩංගුවට පත්ව  තිබෙනවා.

    එමෙන්ම, කඳාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවට හඳුනා ගැනීමෙන් පසු, පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

    ගිනි අවි  ළඟ තබා ගැනීම සම්බන්‍ධයෙන් එම සැකකරු අත්අඩංගුවට පත්ව ඇති බවයි, පොලිසිය සදහන්  කළේ. සැකකරුවන් වෙඩි තැබීම සඳහා භාවිත කළ පිස්තෝලය ද පොලිසිය සොයා ගෙන ඇති අතර, මොරගහහේන පොලිසිය වැඩිදුර පරික්‍ෂණ සිදු කරනවා.

     

    Latest News