හිටපු ජනාධිපති ලේකම් අද (14) ජනාධිපති කොමිසමට

ඔක් 14, 2020

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව හමුදා බුද්ධි නිලධාරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොදා ඇති අත්සනෙහි වෙනස්කම් නිරීක්ෂණය වන බව හිටපු ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා අද ප්‍රකාශ කළා.

    ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්. යුද හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමික බලලත් නිලධාරි ඩිලංජන් උපසේන මහතා කළ කරුණු දැක්වීමකට අදාළව සාක්ෂී විමසීමට හිටපු ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා අද ජනාධිපති කොමිසමට කැඳවා තිබුණා .

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ඩිලංජන් උපසේන මහතාව 2015 සැප්තැම්බර් 08 වන දින සිට දින 90 කට වැඩි කාලයක් සී.අයි.ඩී යේ රදවා තබා ගැනීමට අවසර දෙමින් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන කර ඇති ලිපියක් කොමිසම මෙහිදී උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ අවධානයට යොමු කළා.

    ඔහු සදහන් කළේ එම ලේඛනයට යොදා ඇති අත්සනෙහි බැලූ බැල්මට වෙනස්කම් නිරීක්ෂණය වන බවයි .

    තමා 2018 ජූලී 06 වැනිදා සිට 2019 නොවැම්බර් 19 වැනිදා දක්වා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලේකම් ලෙස කටයුතු කළ බවත් එම කාලයේදී ලේඛන දහස් ගණනකට ජනාධිපතිතුමා අත්සන් කර ඇති නමුත් එම අත්සන හා සසදන විට මෙම අත්සනෙහී බොහෝ වෙනස්කම් නිරීක්ෂණය වන බවත් උදය ආර් සෙනවිරත්න මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා .

    ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂක විද්‍යාතනය පිහිටුවීමට අදාළව 2016 ඔක්තෝම්බර් 03 වැනිදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන සහිත කැබිනට් පත්‍රිකාවක් ද කොමිසම සාක්ෂිකරුගේ අවධානයට යොමු කළා .

    එම අත්සන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බව උදය ආර් සෙනෙවිරත්න මහතා තහවුරු කළ අතර මෙම පැමිණිල්ලට අදාළව සාක්ෂි විමසීම අවසන් බව කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රකාශ කළා.

    මේ අතර නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දේශපාලන පලිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකක‍යට පැමිණියා .

    ඒ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය හෙවත් සී.එස්.එන් නාලිකාව ආරම්භ කිරීමේදී මූල්‍යමය වංචා සහ රජයේ දේපළ භාවිත කර ඇති බවට චෝදනා කරමින් යහපාලන ආණ්ඩු සමයේදී තමා අත්අඩංගුවට ගෙන දින 45 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සදහායි.

    Latest News