වගකීමක් නැති පකිස්තාන් සන්නද්ධ ප්‍රහාරය

අප්‍රේ 14, 2024

    පකිස්තානයේ තුවක්කුකරුවන් පිරිසක් විසින් සිදුකළ ප්‍රහාර දෙකකින් මේවන විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව, ‍එරට බලධාරීන් තහවුරු කරනවා.

    ප්‍රධාන අධිවේගී මාර්ගයක් ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ.

    ඇෆ්ගනිස්ථානයට සහ ඉරානයට මායිම්ව පිහිටි නිරිත දිග පකිස්තානයේ “බලොචිස්තාන්” පළාතේදී මෙම ප්‍රහාර එල්ල වුණා. ඉකුත් සිකුරාදා එම පළාතේ අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ බස් රථයක ගමන්ගත් පුද්ගලයින් 9 දෙනෙකු, තුවක්කුකරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව, පකිස්තාන ආරක්ෂක අංශ පවසනවා.

    ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී බස්රථයේ මගීන් 70 දෙනෙකු සිටි බවයි, වාර්තා වන්නේ. එම අධිවේගී මාර්ගයේම ධාවනය වෙමින් තිබූ තවත් මෝටර් රථයක ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු ද පසුව ඔවුන් විසින් ඝාතනය කර ඇති බව, ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.

    මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්. ප්‍රහාරය සඳහා සන්නද්ධකරුවන් 10 දෙනෙකු හෝ ‍12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සම්බන්ධ වූ බවට සැක පළ කරනවා.  ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු කණ්ඩායමක් විසින් බාරගෙන නැහැ. අපරාධකරුවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව, පකිස්තාන බලධාරීන් පවසනවා.

    Latest News