අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා රජය දුන් මිල සහනය අද (14) සිට ක්‍රියාත්මකයි

ඔක් 14, 2020

    අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සඳහා රජය ලබාදුන් මිල සහනය අද සිට ක්‍රියාත්මකයි.

    පාරිභෝගිකයින්ට එම සහනය ලබාගත හැකි වන පරිදි සීමා පනවා භාණ්ඩ අලෙවි කරන බව ලංකා සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි.

    රජය, වත්මන් ජීවන වියදම සහ කොවිඩ් 19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන පරිප්පු, ටින් මාළු, බී ලූනු සහ සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩවල ආනයන බදු ඉවත් කළේය.

    ඒ අනුව ටින් මාළු ලොකු ප්‍රමාණයේ ඇසුරුමක් රුපියල් 200කට, බී ලූනු කිලෝවක් රුපියල් 100කට සහ සීනි කිලෝවක් රුපියල් 85කට පාරිභෝගික ජනතාවට අද සිට මිලදී ගත හැක.

    මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු රුපියල් 500කට වැඩි වටිනාකම් සහිත භාණ්ඩ සතොසින් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150කට ලබාගත හැක.

    ලබාදුන් සහනය පිළිබඳව ජනතාව රජයට ස්තුතිය පළ කරයි.

    පාරිභෝගිකයන්ට සතොස අළවි සල්වලින් සාධාරණ මිලට පොල් ලබාගැනීමේ අවස්ථාව ද සලසා තිබේ. පොල් සංවර්ධන මණ්ඩලය, කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩිකර තිබීම ඊට හේතුවයි.

    Latest News