නාකොටික් නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ් භාරයට

අගෝ 18, 2020

    මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යළි ලබන 31 දක්වා රක්ෂිත බන්ධගාරගත කෙරිණ.

    ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ නඩුව අද කැඳවමිනි.

    මේ වනවිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින එම සැකකරුවන් කිසිවෙකුත් අද දින අධිකරණයට ඉදිරිපත් නොකළ අතර සෞඛ්‍ය ආරක්ෂිත හේතුන් මත ඔවුන් අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

    එම සැකකාර නිලධාරීන් 13 ඇතුළු සැකකරුවන් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පොඩි ලැසි නමැත්තාගේ ප්‍රධාන සඟයෙකු වන මේ වන විට ඩුබායිහි රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත උදාර සම්පත් නමැත්තාගේ මෙහෙයවීම යටතේ ලංකාවට එවන ලද හෙරොයින් තොග පිටින් ප්‍රවාහනය කර ඇති බව එහිදී අනාවරණ විය.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී පෙන්වා දුන්නේ, ඒ සඳහා සැකකරුවන්ට රුපියල් ලක්ෂ 100 ගනනින් ප්‍රවාහන ගාස්තු ගෙවා ඇති බවට සාක්ෂි ඉදිරිපත්වී ඇති බවයි.

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් අයුතු ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් 13 දෙනා අතුරින් පොලිස් කොස්තාපල් දෙදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව ද අද දින ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

    එහි නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා කරුණු දක්වමින් සඳහන් කළේ, පෙර නඩුවේ පළමු සැකකරු වන පොලිස් පරීක්ෂක ලයනල් ජයරත්න නමැත්තාත්, එම ජාවාරම සම්බන්ධයෙන් රඳවා ගෙන ප්‍රශ්න කරන උපපොලිස් පරික්ෂක උදාර චතුරංග නමැත්තා ඇතුළු තවත් 5 දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීම යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බවයි.

    Latest News