කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2077 දක්වා ඉහළට

ජූලි 23, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුණු එක් පුද්ගලයෙකු පමණක් අද මෙරටින් වාර්තා විය.

    ඔහු සවුදි අරාබියේ සිට මෙරටට පැමිණි අයෙක්. මේ අතර, කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2077 දක්වා ඉහළ ගොස් තිබේ.

    කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 562ක්. ඔවුන්ගෙන් 451 දෙනෙකුම එම මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන රැඳවියන්. තවත් 63 දෙනෙකු කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයන් වන අතර, 05 දෙනෙකු ආරාධිත කාර්ය මණ්ඩලයට අයත්වූවන් වේ. 43 දෙනෙකු මෙම මධ්‍යස්ථානයෙන් වාර්තා වූ කොවිඩ්-19 රෝගීන්ගේ ආශ්‍රිතයින්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු සමස්ත රෝගීන්ගෙන් 2077 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 75.47ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 665 දෙනෙකු පමණි. ප්‍රතිශතයක් ලෙස එය 24.16ක්.

    ඉකුත් දිනවලදී රාජාංගණය ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගීන් වාර්තාවීමත් සමඟ එම ප්‍රදේශයට පැනවූ සංචරණ සීමා තවදුරටත් ඒ අයුරින්ම ක්‍රියාත්මකයි. රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ප්‍රදේශයේ ජීවත්වන පවුල්වලට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලබාදෙන ආකාරය දැකගත හැකි වූ බව අප වාර්තාකරු පවසයි. ප්‍රදේශයේ පවුල් 4,000ක් පමණ ජීවත් වන බව වාර්තාවේ. කොවිඩ්-19 රෝගීන් සමීපව ඇසුරු කළ පුද්ගලයින්ගේ පීසීආර් පරීක්‍ෂණ පසුගිය දිනවල අඛණ්ඩව සිදු කෙරිණ. එලෙස පීසීආර් පරීක්‍ෂණ සිදුකළ 164 දෙනෙකුගේ නැවත වරක් අද පීසීආර් පරීක්‍ෂණ සිදු කළේය. ඒ, රාජාංගනය 5 කණුව පොළ භූමියේදී.

    සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්‍ෂ්මන් ගම්ලත් මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ඊයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. ඒ මහ මැතිවරණයෙන් පසු කොවිඩ්-19 තර්ජනයට මුහුණ දෙමින් සෞඛ්‍යාරක්‍ෂිතව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා අත්‍යවශ්‍ය වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සැකසීමට අවශ්‍ය කරුනු එක් රැස් කිරීමටයි.

    මහ මැතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවන මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ ආරක්‍ෂක අංශ කොවිඩ්-19 රෝගයෙන් ආරක්‍ෂා කර ගැනීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා නිරීක්‍ෂණ චාරිකාව සංවිධාන කෙරිණ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදෙන මාර්ගෝපදේශ පදනම් කර ගනිමින් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර සෞඛ්‍යාරක්‍ෂිතව පැවැත්වීමට අදාළ සියලු පියවර ගන්නා බව, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මෙහිදී අවධාරණය කළේය.

    Latest News