රුවන්පුර අධිවේගී මාර්යේ ඉදිකිරීම් දේශීය සමාගමකට

ජූලි 02, 2020

    රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව විදේශීය සමාගමකට ලබාදෙමින් පසුගිය රජය සමයේ අත්සන් කර තිබූ ගිවිසුම අවලංගු කර එම කොන්ත්‍රාත්තුව දේශීය සමාගම්වලට ලබාදීමට රජය තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය, රත්නපුර, පැල්මඩුල්ල සම්බන්ධ කරමින් කිලෝමීටර 76කින් ඉදිකෙරෙන රුවන්පුර අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුව එක් කොන්ත්‍රාත්කරුවකුට කිලෝමීටර 6ක් 10ක් අතර වශයෙන් දේශීය කොන්ත්‍රාත්කරුවන් 10කට පමණ භාරදීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ සඳහා අවශ්‍ය මුදල් ද විදේශ අරමුදල්වලින් තොරව දේශීය අරමුදල් මගින් සපයාගැනීමට තීරණය කර තිබෙන බව ද ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී.

    මේ සඳහා මාර්ග, මහාමාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද හෙතෙම සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

    Latest News